FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

යූකේ වලදී නේවි එකෙන් කෑවෙමු!

9.09.2013


මේ බ්ලොග් එක වේලෙන්න නොදී තියාගන්න අමාරුයි. කට්ටියම එක එක වැඩවලට සෙට් වෙලා කාර්ය බහුල වෙලා තියෙන නිසා සෙට් වෙලා පටංගත්තු ගොඩක් වැඩ තියෙන්නෙ ඔහේ යන ගාණට. ඒකට කරන්න දේකුත් නෑ. ජීවිතේ තියෙන්නෙ ඔන්ලයින්ම විතරක් නොවෙන නිසා ඔන්ලයින් හැදිල තියෙන ප්‍රොෆයිල්වලට වඩා හැබෑ ජීවිතේ ප්‍රොෆයිල් මේන්ටේන් කරන එක කට්ටියටම වැදගත් වෙලා මේ වෙද්දි. හැබැයි කවුරුත් අතාරින එකකුත් නෑ... මේ වෙනකොට ඔන්ලයින් ජීවිතේ බ්ලොග් කියන එකින් එහාට මෙහාට ගිය දෙයක් වෙලා හැමෝටම.

බ්ලොග් ලෝකෙ අළුත් වෙනවා. වෙනස් වෙනවා. කට්ටිය එනවා යනවා. අමුතු දේවල් සිද්ධ වෙනවා. ඒ අතරෙ අපිත් ඉඳල හිටල පෝස්ට් එකක් දෙකක් කොටන ගමන් තාමත් ඒ රහ හොයන්න ගන්නවා. සෙට් එකේ ගොඩක් දෙනෙක්ට මේ වෙද්දි බ්ලොගින් ගැන තියෙන්නෙ තමන් බ්ලොග් පටන්ගත්තු කාලෙදි තිබුණ අදහසම නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. මොකද සාමාන්‍යයෙන් නම් මිනිස්සු දියුණු වෙනවා. ලියන දේවල් වගේම ලියන ආකෘතිත් ගොඩ දෙනෙක්ගෙ වෙනස් වෙලා කියල මට හිතෙනවා. ඒ වුණාට මේ බ්ලොග් එකේ ලියවෙන්නෙ අපේ සෙට්වීම් විතරක් නිසා මේ සටහන්වල ලොකු වෙනසක් වෙන එකක් නැහැ.

පහුගිය කාලෙම අඩුගානෙ මාසෙකට සැරයක් හෝ දෙකක් අපේ එකා දෙන්න එක එක ඉවෙන්ට්වලදි වගේම වෙඩිං පාටි සහ ඇරේන්ජ් කරගත්තු පාටිවලදි සෙට් වුණා. නමුත් ඒ හැම එකක් ගැනම පබ්ලිෂ් කරන්න උවමනාවක් නොතිබුණ නිසාම වෙන්න ඇති මේ බ්ලොග් එක කාලයක්ම වේලුනේ.

හැබැයි මේ වතාවෙ මේකට සටහනක් ලියන්න හිතෙන්නෙ අන්තිම වතාවෙ අපි සෙට් වුණ තැන විශේෂ නිසා.

ජූලි මාසෙ මුලදි අමරවංශයා මේල් එකකින් යෝජනාවක් ගෙනාවා සෙට් වෙමු කියල. මොකද ඒ වෙද්දි මාසයක් දෙකක් විතර කට්ටිය ග්රෑන්ඩ් විධියට සෙට්වෙලා නොහිටිය නිසා. කලිනුත් කීප වතාවක්ම අමරෙ ලොක්කම කියපු උස්වැටකෙයියාවෙ තියෙන නේවි රෙස්ටුරන්ට් එකේ සෙට් වෙමු කියලයි යෝජනා වුණේ.

ඒ තැන ගැන විස්තර මෙතන තියෙනවා. මේ ලින්ක් එකත් දාල තිබුණ නිසා තැන ගැන අදහසක් ගන්න පුළුවන් වුණා.

නමුත් මේ තැන හරියන්නෙ නෑ කියල මුලින්ම විරෝධය දැම්මෙ මම. මොකද පින්තූරවල හැටියට ‘පොෂ් විධියට ලන්ච් එකක් ගන්න‘ මිස ‘අපේ විධියට සෙට් වෙන්න‘ පුළුවන් ගතියක් එතන මට නොපෙනුන නිසා. මම මෙලෝ රහක් නැතිව හිටියට අනිත් උන් මරාගන්නවනෙ සෙට් වෙන්න ගියාම. විරෝධයට අනිත් කාරණේ වුණේ මුහුද පේන මානයේ තියෙද්දිත් මුහුදට යන්න බැරි විධියට වැටක් ගහල තියෙන එක. මුහුද මාකට් කරගන්න හොඳ හැකියාවක් තියෙද්දි මෙයාලා මුහුද ආවරණය කරල තියෙන්නෙ ඇයි කියන එකට හොඳ හේතුවක් ඇති එයාලට.

කොහොම වුණත් එතනදි වියදම් වෙන්න පුළුවන් ගාණත් සලකල පස්සෙ වෙන යෝජනාවක් ආවෙ රූමස්සල වගේ පැත්තක දිග ට්‍රිපක් යමු කියලා. ඒ යෝජනාවත් සතියක් දෙකක් විතර ඇදි ඇදී තිබුණා. ඒ අස්සෙ ‘අපි එක් වතාවක් හෝ පොෂ් විධියට සෙට් විය යුතුය‘ කියන කාරණේ සාධාරණීකරණය කරන්න මඩවේදී බින්දුවා සෑහෙන්න හේතු ටිකක් ගෙනාවා. අනිත් අයත් ඒක සාධාරණීකරණය කලේ අපි ගොඩක් විට හෙඩ් ඔපීසියෙ, ලෝටස් ලීෆ්, වයිට් හෝස් වගේ තැන්වල සෙට් වෙන නිසා වෙනසකටත් එක්ක එතන සෙට් වෙමු කියලයි.

අවසානෙදි කට්ටියම ඒකමතික තීරණයකට ආවා අපි උස්වැටකෙයියාවෙ මාලිමා ක්ලබ් එකේ මීළඟ සෙට්වීම දාගමු කියලා. මේක ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පවත්වාගෙන යන රෙස්ටුරන්ට් එකක්. සියළු විස්තර මෙතනින්.

දිනය විධියට යොදාගත්තෙ කලින්ම තීරණය වෙලා තිබුණ විධියට 2013.08.17 වෙනි සෙනසුරාදාව. කට්ටියම උදේ 9 වෙනකොට කොටුවෙ පොලිසිය ගාව තියෙන හෝල්ට් එක ගාවට එකතු වෙමු කියල කතා වුණා.

වාද්දුවෙ හෙඩ් ඔෆිස් එකේ ඉඳන් මමයි මලීයි දෙන්න යන්න පිටත් වෙද්දිත් අටහමාරට විතර ඇති. කොහොමත් අපි දැනගෙන හිටිය අපට යන්න පරක්කු වෙනව කියල. ඒ නිසාම අමරෙ කෝල් කලාම උන්ට යන්න කියල කිව්වෙ අදාල තැනට යන බස් තියෙන්නෙ විනාඩි 45කට විතර සැරයක් කියල කලින් දැනගෙන හිටපු නිසා. අපි දෙන්නා කොල්ලුපිටිය හරියට එද්දි එදා දවස තමන්ට අමතක නොවෙන දවසක් කියල හීනෙන්වත් නොහිතපු පොරක් කෝල් කරා. ඌ අපේ සෙට් එකේ අළුත බැඳපු ලැක්ටෝ සහ මාරි එක්ක හැව්ලොක් ටවුම පැත්තෙන් එනව කියල කිව්වා. මලීයි මමයි දෙන්නා අදාල තැනට ගිහින් උදේට සොසේජ් බනිස් දෙකයි කිරි පැකටුයි ගහල කට්ටිය එනකල් හිටියා.

ඔය කොටුවෙ බස් ස්ටෑන්ඩ් එක ගාවින් ගුණසිංහපුරේට හැරෙන හන්දිය පට්ට අවුල් සහගතයිනෙ. අපි දැක්ක අර තුන් දෙනා ඇවිත් එතන හිටපු ට්‍රැෆික් පොලිස් මාමිත් එක්ක චැටක් දානවා. අපි හිතුවෙ දන්න පොරක් වෙන්න ඕන කියලා. ඒත් චැට ඉවර නොවුණ නිසා පොඩ්ඩක් කිට්ටුවට ගිහින් බැලුවා. බැලින්නම උං චැට් කරල නෙවෙයි. මාර්ග නීති උල්ලංඝණය කලා කියල පොලීසියෙ මාමි අර පොරව අල්ල !%$#%^%^&*^%#$#!

බැරි වෙලාවත් කලින් වතාවක හීන දැක්ක වගේ පොරට ඕඅයිසී පෝස්ට් එකක් වයසට ගියාමවත් ලැබුණොත් මගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන් නිසා ඒ කතාව එතනින් ඉවර කරනවා. අවස්යතාවය ඇත්තෝ විමසා බලත්වා.

කොහොම වුණත් ඒ වැඩේ තාමත් අපේ සිරා බයිට් එකක්. අර පොලිස් මාමිට පරෙස්සම් වෙන්න වෙයි. මොකද දැන් අපේ පොරගෙ පරම හතුරා තමයි ඌ... ඒ මාමි මේක බලනවනං දැන්ම ඇඳුම් පැක් කරල තියාගන්න එක හොඳා. මොකද නොහිතන මොහොතක ඈත පළාතකට මාරුවක් ලැබෙන්න පුළුවන්.

කොහොම හරි අන්තිමේදි පොලිස් මාමි ලියල දුන්න කොල කෑල්ලත් අරගෙන කට්ටිය බස් එක හෙව්වා. මේ බස් එක පිටකොටුවෙන් පිටත් වෙන අංක 275 බෝපිටිය බස් එක. මේක අපට අහන්න ලැබුණ විධියට විනාඩි 45කට විතර සැරයක් දුවන එකක්. මුළු පාරෙම බස් 8යි ලු දුවන්නේ. මේකෙන් අදාල තැන ගාවටම යන්න පුළුවන්. ඒත් මේක සෑහෙන්න කොටන බස් එකක් නිසා මේකෙන් යනවනම් පැයක්වත් යනව ගමනට. හැබැයි අපේ පොර ඊට වඩා ඉක්මන් විධියක් හොයාගෙන කිබුණා. ගුවන් තොටුපලට යන බස් එකක හැඳළ හන්දියට ගිහින් එතනින් 107 ඇලකන්ද බස් එකේ ඇලකන්ද හන්දියට යනවා. ඕනනං එතනින් වීල් එකක රුපියල් 200ක් දීල අදාල තැනට යන්න පුළුවන්. නැත්නං අර 275 බස් එක ඇලකන්ද හන්දියෙ විනාඩි 20ක් විතර නතර කරල තියෙනවා. ඒකෙම යන්න පුළුවන්. තනි බස් එකේ ගමනට බස් දෙක තුනක ගමන විහිළුවක් වගේ වුණත් ගමනෙ ඉක්මන ගැන බලද්දි ඒක වඩා ෂේප්.

ඇලකන්දෙ ඉඳන් ත්‍රී වීල් එකේ අදාල තැනට ගිය ගමන අළුත්ම අත්දැකීමක් වුණා. ඒ පාර තමයි හැඳළ - හුණුපිටිය පාර. එහෙම නැත්තං ඇළ පාර නොහොත් ගුගලෙ තිබුණ විධියට ‘කැනල් රෝඩ්‘ එක. ඒ පාර තියෙන්නෙ මීගමුව කලපුවෙ ඉඳන් ඇවිත් මට්ටක්කුලිය හරියෙන් කැළණි ගඟට එකතුවෙන ඇළ දිගේ. ඒ ඇළ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නෙ ධීවර කටයුතුවලට කියල තේරුණා. ඒ කියන්නෙ ඒ කිට්ටුව ඉන්න ධීවරයන්ගෙ බෝට්ටු පාක් කරන වගේ වැඩ වලට. මොනව වුණත් ඒ විධියෙ තැනක් කලින් දැකල නැති නිසාම එතන අපේ හිතට වැදුණා. කොහොමින් කොහොම හරි ඇළ දිගේ පාරෙ ගිහින් අපි අදාල තැනට සම්ප්‍රාප්ත වුණා.



අපි පස් දෙනා ඇතුලට ගිහින් ඒ වෙද්දිත් ඇවිත් හිටිය අනිත් අය හිටපු තැනට ගියා. එතන වෙලා තිබුණ දේකින් අපි හැමෝම පුදුම වුණා.

පැතුම් පුංචිහේවා ඇවිත්!

සාමාන්‍යයෙන් පැතුම් කියන්නෙ අර මහා කළු සිංහල වර්ගයේ ඩයල් එකක් (ඌට ඒක මාර හීනමානයක් නිසා තමයි පොර ඉංගිරිස්වලින් පොත් ලියන්නේ) ඒක නිසා ඌ සාමාන්‍යයෙන් මොකක් හරි වැඩකට එනව කිව්වොත් වැඩේ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල හරි එන එක එනවමයි. මේ සෙට්වීමෙදිත් අපි පොරට කියල තිබුණෙ උදේ 6 විතර එන්න හිතාගෙන වරෙන් කියල. එහෙම හිතාගෙනද කොහෙද පැතුම් අපි යන්නත් කලින් ඇවිත් තිබුණා.

පැතුම්ට අමතරව අමරවංශ මහතා, රේවන් විෂ්මි යුවල, පහන් යුවල, බින්දු සහ අවුෆ් කියන නෝනල මහත්තුරු ඇවිත් හිටියා. ඒ වෙද්දිත් කට්ටිය ගල්භූමි පරණ අරක්කු (මළ ජරාවක්) බෝතලයක් කඩල තිබුණා. කාල්ස්බර්ග් වීදුරු කීපයකුත් කොක්ටේල් එකකුත් කැරකෙමින් තිබුණා. අපිත් ඇවිත් ඒ ඒ කැමැත්ත අනුව සෙට් වුණා. කාන්තාවො ටික mai tai කොක්ටේල් එක්ක සෙට් වෙද්දි අනිත් අය කැමැත්තෙ විධියට එක එක ඒවත් එක්ක සෙට් වෙලා හිටියා.




මේ තැන ගැන මට තිබුණ අප්සෙට් අදහස ටිකකින් නැති වෙලා ගියේ සෙට්විල්ලෙ සහ තැන අමුතු පොෂ් බවක් නොතිබුණ නිසයි. තැන ගොඩක් පිරිසිදුයි. හොඳට පිළිවෙලට මේන්ටේන් කරන බව පේන්න තිබුණා. යන්න තිබුණ වැසිකිලි පහසුකම් වුණත් සුපිරි මට්ටමක තිබුණා. සේරටම වඩා හිතට වැදුණෙ සර්විස් එක. ඒක අපි කාටත් පුදුමයක් වුණා කිව්වොත් හරි. මොකද සාමාන්‍යයෙන් අපිට කොහෙ ගියත් ඕඩර් එකක් දීල විනාඩි 5-10ක් ඇතුලත ඒක මේසෙට ලැබෙන විධියෙ සර්විස් එකක් හම්බවෙන්නෙ නෑ ලංකාවෙනං.


අනිත් කාරණේ සර්විස් කරපු එකා. ඌ දිහා අපේ සෙට් එකේ කෙල්ලො හොරෙන් බැලුවෙ නෑ කියල කියන්න බෑ. ඌ රඟපාන්න තරම් පෞරුෂයක් තිබුණ කොල්ලෙක්. වැඩිය කතා බහක් නැතිව අවශ්‍ය දේ සපයල දුන්නා. හැබැයි එකක් කියන්න වෙනවා. සෙට් වීමෙ අවසාන භාගෙදි අපි රයිස් එකක් සහ ඒක කන්න චිකන් කරියක් ඕඩර් කලා. අපේ වේටර් මලයා රයිස් එක ගෙනත් තියලා චිකන් එක අරන් එන වෙලාවෙදි රයිස් එක ඉවර වෙලා තිබුණා. ඒකට ඌට චෝදනා කරල හරියන්නෙ නෑ.

මෙතන කෑමත් සෑහෙන්න ෂේප් කියල කියන්න පුළුවන්. බයිට් එකට ගෙන්නපු චිකන්වල නම් ගම්මිරිස් ලුණු මික්ස්චර් එකේ අවුලක් දැණුණත් ඩෙවිල්ඩ් පෝක් බයිට් එක නම් කාපු හොඳම බයිට් එකක් වුණා හැමෝටම. ඒකට දාල තිබුණ හැම දේම නියම අනුපානෙට තිබුණා.



ඉතිං සුපුරුදු පරිදි අපේ මඩ ගැහිලි, බයිට් කෙරිලි සහ රේඩියෝ, පොත්, චිත්‍රපටි ගැන විධග්ග සාකච්චා එක්ක පැතුම්ගෙ පෝස්ට් කොලෝනියල් සංවාදෙ දිගටම ඇදුණා. ඒ අතරෙ දෙන්නෙක් ජින්ජර් බියර් එකේ බුබුළු හෙව්වා.

ඒ අතරෙ බින්දුට ආපු වැදගත්, රටේ උන්නතියට අතිශය දායකමය, සංස්කෘතිකමය, ස්ත්‍රීවාදීමය, ධනවාදීමය, පාවුල්වාදීමය, රෙජීමය, කුටුම්භමය, මාධ්‍යවේදීමය ප්‍රශ්ණෙ තමයි අල්ලපු මේසෙ කෑම කාපු පොෂ් පවුලෙ කාන්තාවො හැමෝම කොටට කොණ්ඩෙ කපල ඉන්නෙ ඇයි කියන එක. ඒකට උත්තරේ හොයන එක ඌටම කරගන්න දීල අනිත් අය තමන්ගෙ පාඩුවෙ සෙට් වුණා. ඔය අතරෙ අමරවංශයා බේබි පූල් එකක බැහැලා වෙනද නො නාන නෑමක් හොඳට නාගත්තා කියලත් අපි දැක්කා.

අවසානයේ වෙනද වගේම තිබුණෙ පින්තූර සෙෂන් එකක්. කට්ටිය එකිනෙකා බදාගෙන, ඉඹගෙන, තුරුළු කරගෙන, ගස් බදාගෙන, කණු බදාගෙන, සිමෙන්ති රූප බදාගෙන, ලොකයාට මුහුණ දෙන්න බැරිව පර්දාවෙන් ඔළුව වහගෙන, පොෂ් විධියට, ළාමක විධියට, ප්‍රේමණීය විධියට, රෞද්‍ර විධියට, මැරෑටි විධියට සහ එකී මෙකී නොකී නා නා ප්‍රකාර විධි වලට ඉඳල පින්තූර ගත්තා.


ඊට පස්සෙ අදාල මුදල් හදල් බේරලා කට්ටිය රෙස්ටුරන්ට් එකෙන් එළියට ආවෙ ආයෙ 275 බස් එකක් එනකල් ඉන්න. එන්න ඔප්ෂන් කීපයක් තිබුණට යන්න තියෙන්නෙ එකම එක ඔප්ෂන් එකයි. 275! මොකද පැත්ත ඒ තරමට ජනාකීර්ණ නැති නිසා අහල පහල ත්‍රී වීල් පාක් එකක්වත් නෑ. ඒ නිසා වෙලාව ගැන උනන්දු වෙනවනම් ඇලකන්ද හන්දියෙ වීල් එකක කන්ටැක්ට් තියාගන්න එක හොඳයි.

පැය බාගයක් විතර එතන චාටර් වෙද්දි අපට සෙට් වුණේ අමරවංශයාගෙ ඩිස්පෝසබල් කැමරාව. ඒක රට ඉන්න ඇන්ටි කෙනෙක් පොරට එවල රීල් එක ඉවර වෙනකල් පින්තූර ටිකක් ගහල එවන්න කියල. (ඕං ඉන්ටනෙට් එකෙන් බිස්නස් කෙරුවාව) ඒකෙ මිනිස්සුන්ගෙ පින්තූර වදිනවට පොර අකමැති නිසා ඔරං ඔටන් දැලිපිහිය අතට ගත්ත වගේ ඒක අතට ගත්ත අපේ සෙට් එකේ ළඳක් හතර අතට ගස් ගල්වල පින්තූර ගැහුවා. රීල් එක ඉවර වෙද්දිම බස් එකත් ආවා. මාර ඩ්‍රැමටික් නේද?


අන්තිමේදි බස් එකේ එනකල්ම කට්ටිය අමරවංශයාගෙ අයි ෆෝන් එකෙන් මනමාලියො වෙන්න සුදුසු අයගෙ පින්තූර බැළුවා. කොටුවෙන් බැහැලා ජොලියටත් එක්ක කට්ටිය දොඩං ඇට බීම බිව්වා. ඒ අතරෙ රේවන්ගෙ යාළුවෙක් නිසා බින්දුට ප්ලාස්ටික් බෝතලේකින් ගලා යන ජලයේ ස්නානය කරන්නත් වුණා.

අවසානෙදි කට්ටිය සැදැහැ සිතින් ගෙවල් බලා තොලොංචි වුණා.

ඔය හැමදේම ඔහොම වෙද්දි මම හැමදාම වගේ හොඳ ළමයා වගේ හිටිය බවත් කිව්වෙ නැත්තං ඒක මාර මදි පුංචිකමක්.

----------------------
ගුටි කන්න පෙර පින්තූර සඳහා සාදර අනුග්‍රහය -

ලි. පුවක්ඕවිට | ර. ජයවර්ධන | ප. සරත්චන්ද්‍ර

6 ක් මඩ ගහලා:

Lishan kasun sri said...

ඒක මාර දවසක්..!
ආපහු යලිත් සෙට් වීම must එකක්..!

සිහින said...

ඩිස්පෝසබල් කැමරාව මාර ගතිය. අමරවංසයා ඕක ආපිට තැපැල් කරයි ද ?

මුචලින්ද said...

රටේ උන්නතියට අතිශය දායකමය, සංස්කෘතිකමය, ස්ත්‍රීවාදීමය, ධනවාදීමය, පාවුල්වාදීමය, රෙජීමය, කුටුම්භමය, මාධ්‍යවේදීමය ප්‍රශ්ණෙ තමයි අල්ලපු මේසෙ කෑම කාපු පොෂ් පවුලෙ කාන්තාවො හැමෝම කොටට කොණ්ඩෙ කපල ඉන්නෙ ඇයි කියන එක ලොකු අවුලක් යකෝ!

උන්ට මොකෙක්හරි සාස්තර බුවෙක් කියල තියෙනව කොන්ඩෙ වැවුවොත් බරව හැදෙනව වගේ බොරුවක්!

amila chathuranga said...

කොන්ඩ පස්නෙ වැදගත් එකක් කියලා මටත් හිතෙනවා... මොකද කොන්ඩෙ කියන්නෙ එක්තරා කුලකයක් ...

දිලිනි said...

ඔන්න අද තමා ඉස්සරලම ආවේ. මම කුරුටු ගෑ ගී පොතේ දිලිනි

Shiroshan Randika said...

ඇත්තටම සතුටුයි! අපේ ගමටනේ ඇවිල්ලා තියෙන්නේ. 275 ට අපේ පැත්තේ අය කියන්නේ "හෙට කොළඹ" කියල.

Post a Comment