FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

බකාදි සන්ඩේ

3.28.2011

ඔන්න කලින් සිට කතා කරගෙන උන් පරිදි ලසියා හෙවත් ආගන්තුකයාගේ ගොඩයාමත් මරණවංශ හෙවත් "ම" ගේ කල්දැමූ උපන්දින සාදයත් සැමරීම පිණිස දිවයිනේ සතර දිග්භාගයේ විසිරී පැතිරී උන් සෙට්වීම් උදවිය ඇබ්සලූට් ඉරිදා උදැහැනැක්කෙන්ම හංවැල්ල ප්‍රදේශයේ පිහිටි අම්බලම නිවාඩු නිකේතනයට සැපත් වෙන්න පටන් අරගෙන තිබුණා.



උණවටුණාගමනයෙන් පසු දෙවෙනි වතාවට සෙට්වීමට සෙට්වූ රේවන් විශ්මි යුවල තමයි අම්බලමට මුලින්ම ගොඩවැදුනේ. අම්බලම ඉදිරිපසින් ත්‍රීරෝදරියකින් බැසි ඒ යුවලගේ ඊළග පරමාර්ථය උනේ උදේ අටේ සිට වෙහෙස මහන්සියෙන් අම්බලමේ වාඩිය කියන ඉසව්වේ ඉඩහසර රඳවාගෙන සිටින මරේ,මුචා,ලිෂා සහ චමිල හමුවීමටයි.

එහෙත්...අබග්ගයක මහත.....

ඉරිදාව උදෙසාම නම්කොට තිබූ ඇබ්සලූට් හේතු කොටගෙන ඒ තිදෙන තවමත් අම්බලමට සැපත්ව නොමැති බව ඔවුන්ට දැනගන්නට ලැබුණේ ඒ අතරවාරයෙයි.

ඉතින් බලාපොරොත්තු කඩවීමක ලක්වුණ එ යුවල අම්බලම් මහතුන්ගෙන්ද සේවක මඩු‍ල්ලේද මග පෙන්වීම යටතේ වාඩිය කියන ස්ථා‍නයට සේන්දු උනා.


මේ වාඩිය කියන තැන අම්බලම කියන අවන්හල් පරිශ්‍රයේ එක් මායිමකට වන්නට පිහිටි ගස් කොළන් වලින්ද පරෙයි කපුටු ආදී නානාවිධ පක්ෂීන්ගෙන්ද ගහන නිස්කලංක ඉසවුවක්. පරෙයි කපුටු ආදීන්ගේ සටහන් අතරින් ඉඩක් සොයාගෙන රේවනුත් විශ්මිත් වාඩියේ අසුන් ගත්තා.

ඔහොම පැයක් විතර ගෙවිය ගිය තැනදි හරේ මලී යුවල ඊළගට අම්බලමට ගොඩ වැදුනෙ උදෑසන හයේ සිට ගෙවාගෙන ආපු දුෂ්කර ගමන ගැන සිහි කරමින්. කෙසේ වෙතත් රේවන් විශ්මි යුවලගේ සුන්දර සිනහවත් ලෙංගතු කතාබහත් ඉදිරියේ ඔවුන්ගේ වෙහෙස මහන්සිය මොහොතකින් නිවී ගිය වගට සැක නැහැ. මේ අතරතුර වාඩියේ පාලමක ප්‍රතිසංස්කරණ කටයුත්තකට දායක වන්නටත් මලී තුමිය අමතක කලේ නැහැ.

ඇබ්සලූට් සෙනසුරාදාවක් සමරන්නට යෙදුණු මරේ,මුචා,ලිශා සහ චමිල ආවේ ඉන් අණතුරුවයි. පිරිස ආගිය තොරතුරු කතා කරමින් කැමරා මානමින් කල්ගත කරන අතර ගෙදර දොර ජනෙල් වැසීමට පමාවූ මම සඳුන්ද වාඩිය දෙසට පැමිණෙමින් සිටියා.

කැමරා කාචයට පිටුපාන පක්ෂීන්ගේ හැසිරීමෙන් පසුබට නොවූ සුදු කිරීමේ විශේෂඥ මුචා නොනවත්වා පක්ෂි පශ්චාත් ප්‍රදේශ සේයාරූ ගත කරමින් උන්නා.

ප්‍රසිද්ධ දතකට හිමිකම් කියන්නෙක් කමිස හතක් අඳිමින් ගලවමින් නව වාර්තාවක් සදහා සූදානම් වූ වගකුත් මේ අතරතුර අහන්නට ලැබුණා. අටවෙනි කමිසය ලෙස ඇන්ද කණපිට හැරුණු කමිසයකින් වශීකෘත නොවන්න ඔහු බොහෝදුරට සාර්ථක වන්නට ඉඩ තිබුණු වගත් සැලයි.

සෙට්වීමේ දෙවැනි නිමිත්ත ලෙස ගොඩගිය පුද්ගලයා අදාල පුද්ගලිය සමග සම්ප්‍රාප්ත වුනේ මේ අතරේදියි. ගොඩගිය පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ මුලුමනින්ම ප්‍රකට කරමින් බොත්තම් පියවූ මහත්මා ඇඳුම් කට්ටලයකින් සැරසීගත් මේ පුද්ගලයා දුර සිටම පිරිසට ආචාර කරමින් පැමිණියා. ඔහුගේම පෙර දැනුම්දීමකට අනුව රහසිගතව සැලසුම් කරගෙන හුන් ගුණ කථනයෙන්(අදාල පුද්ගලියට ඇසෙන්නට කෙරුණු) අණතුරුව ඇයට පිරිස හඳුන්වා දීම ඇරඹුනා.

ඇබ්සලූට් ඉරිදාව බකාඩි සන්ඩේ ලෙස නිල වශයෙන් ප්‍රකාශ කිරීමද සිදුවුනා.

වළං පිඟන් සේදීමට ඇති බිය නිසාදෝ අම්බලමට පැමිණීමට පෙර බැංකුවට ගොස් පැමිණි නිරූපා ආන්ටි‍ද පැමිණියා. කලකට පෙර ඇගේ ශිෂ්‍යාවක්ව සිටි තැනැත්තියක්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමද විශේෂ සිදුවීමක් උනා.

සාදය නිල වශයෙන් ඇරඹුනා.

බකාඩි කෝක් සහ ෆැන්ටා සමග විනාඩි පහලොවක ගමනකින් අණතුරුව චිකන් චොප්සි බවට පත්වූ ක්‍රිස්පි චිකන්ද පොටේටෝ චිප්ස් සහ ඔම්ලට්ද අනිත්‍යය බවට පත්වෙමින් තිබුනා.




ඊවා ලූනා, මාකේස්ද, බිග් බෑන්ග් තියරිද, සීයේ කතා අමුතු කතා ආදී නානාප්‍රකාර කතාද දස අත පාවෙද්දි හරේෂ් සොයුරා සුපුරුදු නිහඬතාවයෙන් සභාව රසවත් කලා.

මේ අතර...

රිවිර පත්‍රයේ සාඩම්බර රසිකාවියක් වන සබා සෙට්වීමට එකතු උනා. සෙට්වීම් උදවියගේ කැමරා ආම්පන්න වලට හසු නොවන ඇගේ ප්‍රතිරූපය සේයාරූගත කරගැනීම උදෙසා මේ දිනවල වැඩිමනක්ම කොසොල් පුර වාසය කරන බැවින්දෝ ඇය පැමිණියේ තරමක් පමාවීයි.

නැවත වතාවක් අමුතු කතා එක්ක මඩකතා අසමින් සැන්ඩ්විච් බුදිමින් බකාඩි සහ ඉතිරිවූ ඇබ්සලූට් රස විඳිමින් කාලය ගතවෙද්දි ගීතයක් දෙකකුත් හීනියට මිමිණෙන්න පටන් අරගෙන තිබුණා. ඇස් වැඩියෙන් ඇරුණු හැටියේ රබානටද විරිදුවටද ගීතයටද සමුදුන් පුද්ගලයෙක් දෙස කවුරුත් බැලුවේ කෘතඥපූර්වක බැල්මෙන්.
 
කැමරා දෙකක් සහ සාෂා ග්‍රේ කෙනෙක් ගැන සිදු කෙරුණු මරේ සබා සාකච්ඡාවට ඉඩහසර සලස්වමින් කවුරුත් දියකෙළි පිණිස පිටත් උනේ ක්‍රමයෙන් සැන්දෑ වරුවද ගෙවෙමින් පවතින නිසාය.

සෙටිවීමේ අවසන් අදියරය චමිල විසින් රඟදක්වනු ලැබූ දියක්‍රීඩා සන්දර්ශනයෙන් තවත් රසවත් උනා..

                                                                  මනරම්....රැඟුමන්....

තවත් සුන්දර හමුවීමක අවසානය සටහන් කරමින් පිරිස අම්බලමෙන් සමුගත්තේ හැම වතාවකම මෙන් යළි එවන් හමුවක බලාපොරොත්තුද හිත ඇතුවය.

උණවටුන සාගතාගමනය

3.19.2011

නන්දා මාලිනියගේ "හද විල කළඹන" ගීතයෙහි අන්තරා කොටසේ තාලයට ගායනා කරන්න.

කඳුලක් ඉනුවා කම්මුල් තෙමමින්
කෑමත් නෑ. . . බීමත් නෑ. . . හඬමින්
ආපහු මේ ලෙස නොයමියි සිතමින්
බොක්කේ අමාරුව සුවවේ පතමින්

ටානන ටානන ටානන ටානා. . .
ටන නන නානන ටානන නානා. . .
ටන නා නන... ටානන නා නා. . .
ටනා නනා නන ටන්ටන ටානා. . .

අනුරාධපුරයට ගංවතුර ගැලුවේය. සිරීපාදේ නැග්ගොත් සතියක් කකුල් සොලවන්න හොඳ නැත. බංකුවක් ඉස්සූ පමණින් සද්ධන්තයින්ගේ කොන්ද ඇවිලේ. අහෝ පලමු ප්‍රකාශය හැරෙන්නට අනිත්වා සත්‍ය බවට අප සිතට තරයේ අවධාරනය කර ගනිමු.

පලමු වරට අලුත් බැඳපු ජෝඩුව සහ අලුත අපට සෙට් වූ ජෝඩුව ට්‍රිපට සෙට් විය. බ්ලොග් තුල හේ රේවන් හා විශ්මි වන්නාහුය. හාපෝ උනුත් මඩකරි ය. කිසිම දෙයක් කුසට දාගත නොහැකි තරමේ බොක්කේ රිදිල්ලක් නිසා මාද දුකෙන් ට්‍රිපට එක්විය. සෙට්වීම බේබදු ළමා සමාජයේ සභාපති ගුදම් ආචාරී මරේ තුමාද, ලේකම් ඒ. ඇස්. පී. ලසිත බ්ලොටින් කොස්තා ද මා රියට ගොඩ වන විට ඇතුලේ සිට එලිය බලන් දත් විලිස්සාගෙන සිටියහ. උන්ට එදා හෙන සතුටු දවසකි. බීම කෙසේ වෙතත් කෑම ඉතිරිය. උන් ඒවා දෙස ගිජු බැල්මකින් බලා සිටියහ. රියේ පසුපස අසුනේ කැමරාවක් මූනේ ඇලවුනු බුවෙක් බලා සිටියේය. උගේ වම් ඇස පිටතට නිරාවරණව ඇතිමුත් එය චව්චව් ය. නොහොත් වසාගෙනය. ඌ ඇරුනු ඇස ඔස්සේ මිලිමීටර් දහ අටේ දර්ශන නරඹමින් සිටියි.

මීලඟට වාහනය නැවැත්වූයේ රාව්වන භවන් ඉදිරිපිටය. වාහනය ගේට්ටුව ලඟට එද්දී ස්නානය පටං ගත් රාවණ සීතා යුවල, ඒඇස්පී සහ ගුදමා එකතුව ජිම් පප්පා සීසර්ගේ අභියෝගෙට හෝටලේකට දුන් බැස්ටියට සමවෙන්ට එතන තිබ්බ පාන් බනිස් තුන්සක රියකට බැස්ටිය දී අවසන් වන තෙක්ම රියට ගොඩ වුනේ නැත. යන්තං සන්තං උන්ගේ ආගමනයටද පසු සියලු දෙන වාද්දුවේ මැර වැම්පයරී සොයා ගමන් ආරම්භ කලහ. තුන් තිස් පැයේම හිකිස් ගාගෙන සිටින ඇයද නිවසින් ගොඩවී වාහනයේ මැද අසුන බංකුවක් කිරීමට දායක විය.

රිය පුරාවටම පැතිර ගියේ එකම කසුකුසුවකි. දිවියේ දුක්ඛිතම චාරිකාව එයම වන්නට කසුකුසුවට අදාල හේතුවම විය. මාගේ අහාර සම්බන්ධයෙන් වූ නිහඬතාව ගැන තොරණේ කතාව නොදරුවාගෙනි. ඒ කුජීත හඬින් වූ කවි බන තැලීම ඒඇස්පී බ්ලොටාගෙනි. අතර මැදින් වූ ඌණපූර්න සහ මඩ හිනා අනික් උන්ගෙනි. සබාගේ සැමියා වූ ගුදම් මරේගේ කුප්ප කුජීත සිනහව, උගේ උගුරට ගල් බෝතල් පතුලක් බස්සවන්නට තරම් කේන්තියක් ජනිත කරයි. හාපෝ ඒ ගැන කතා ඵලක් නැත. "මා අසරණ වෙලා වගේ සිතට දැනෙනවා. . ."

දෙයියෝම බලාගන්ට" කෲර සිතක් ඇති බ්ලොටා මා අසලටම වී රසකරමින් කිරිබත් ගිල්ලේය.බොක්කේ හිස් තැන් කෙහෙල් ගෙඩි වලින් පිරෙව්වේය. අසරණ මං තැඹිලි ගෙඩියකින් උදා ආහාරයට සැනහුනේය. අප උණවටුනට සේන්දු වීමු.
බේබද්දෝ "කූර කටේ.. ෂොට් එක අතේ.." ක්‍රමයට තුන් තිස් පැයම ගෙවීය.

පොඩිත්තෝ සෙල්ලම් කලහ.



සමහර ජෝඩු නාද්දී තවත් සමහර ජෝඩු මුහුදට නෙත් යොමා සිටියහ.

සමහරුන්ව වසන්නට වෙරළේ සියලුම වැලි ගොඩ කරන්නට විය.
අහෙම්. . . අහිතක් නොසිතන්න.


බෝතල් ද දිලිසෙමින් තිබිනි.


අනිත් එකා මේ ඔක්කොම පොටෝ ගැසීය.


දිවා ආහාරයෙන්ද පසු අවසානයේ සුව දුක් විමසන්නට "පහන් ද හැකර්" තුමාද පැමිණි අතර අවසන සියල්ලෝ සතුටින් විසිර ගියහ.

නියම දවසේ අවසන ලෙඩ දුක් අමතකව තිබිනි.

කැමරා දෙකට සොඳුරු දසුන් එක්ව තිබිනි.

ඇඟිලි දිගු කරන්නන් වෙත ආද‍රයෙනි

12.30.2010



සෙට් වීම් සෙට් එකේ අරමුණක් කියා හැඳින්වීමට යමක් නැත. එහි ලබා ගත යුතු යැයි සම්මත බලාපොරොත්තුවක් නැත. සමාජයේ නරක මුලිනුපුටා දැමීම, යහපත් ගුණධර්ම ඇති කිරීම, බ්ලොග් අවකාශය වඩා යහපත් කිරීම, නිර්මාණශීලිභාවය ඉහල නැංවීම, ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම ආදීය සෙට් වීමට අවශ්‍ය නැත. අප එකතු වෙන්නේ මෙවැනි අරමුණක් ලබා ගැනීමට නොවන අතර කලින් සඳහන් කර ඇති අන්දමටම සෙට් වීම යන්න පමණක් අරමුණු කරගෙනය. අපේ පිරිස එක්කාසු කිරීමට දේශපාලනික අදහසක්, සමාජයීය චින්තනයක් හෝ වෙනත් දාර්ශනික බම්බුවක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ නිවාඩුවක් සහ ගමන් ගාස්තු පමණි. සෙට් වීම ව්‍යාපාරයක් නොවේ. සෙට් වීම තුලින් ‍කොහේවත් යන උන්ගේ බ්ලොග් වල ගුණාත්මකභාවය වැඩි කිරීමට උත්සහ දරන්නේ නැත. අදහස් දැක්වීමේ නිදහස හෝ එවැනි සමාජ ව්‍යාපාරයක් සෙට් වීමේ නැත. මේ නැවත නැවත කියන්නේ මින් පෙර දැක නැති දෙයක් සෙට් එක තුල නැති බවත් මිතුරන් පිරිසක් එක්රැස් වීම හැර අමුතු දෙයක් එයින් බලාපොරොත්තු නොවිය යුතු බවත්ය. 

නමුත් පසුගිය කාලය තුල කතා බහට‍ ලක්වූ බ්ලොග් අඩවියක් වන "ඇනෝනිමස් ආතල්"හි පලවෙන ලිපි සම්බන්ධව හා එහි බ්ලොග් හිමිකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධව විවිධාකාර චෝදනා "සෙට් වීම්" වලට, "ෆිට් එකට" එල්ල වීමට පටන් ගැනෙද්දී අප කවුද, අපෙන් යමක් බලාපොරොත්තු විය යුතුද යන්න ගැන මේ චෝදනා එල්ල කරන්නවුන්ට අබ ඇටයකුදු දැනුමක් නොමැති බව අපි දුටුවෙමු. ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවිය තුල මුල සිටම සෙට් එකේ ශෛලිය කොපි කිරීමේ වෑයමක් පවතින බව අපි නිරික්ෂණය කලෙමු. එය හිතා මතාම එහි කියවන්නන් හට එම කොපි කිරීම් උලුප්පා දැක්වීමට ප්‍රයත්න දරන බවද නිරීක්ෂණය කල හැක. නමුත් කවුරුන් කුමක් කලත් එය අපේ නිදහසට බාධාවක් නොවේ නම් වැඩි අවධානයක් යොමු නොකිරීම අපගේ සාමාන්‍ය සිරිතයි. තම තමන්ගේ හැරමිටි ඕනෑ ආකාරයට වැනීමට තමාට නිදහස ඇත. නමුත් ඒ නිදහස කෙලවර වන්නේ අනෙකාගේ නාසයේ අගිනි. සෙට් එක කොපි කිරීම අපේ වැඩක් නොව එය සිදු කරන්නාගේය.

නමුත් ඇනෝනිමස් ආතල් හිමිකරු සමඟ තිබෙන එදිරිවාදීකම් සෙට් එක පිටින් යවා සිඟිති ආතල් ගැනීමේ ප්‍රයත්නය දිග හැරීමත් සමඟ මේ පිලිබඳව නිහඬව සිටීමේ තේරුමක් නැති බව පෙනී ගොස් ඇත. සෙට් එක තුල විවිධ මත දරන්නන් සිටින මුත් සෙට් එක තනිව ගත් කල එක් මතයක් නියෝජනය කර ඒ පිලිබඳව පෙනී සිටිමේ අවශ්‍යතාවයක් දැනට පැන නැගී නොමැත. එසේම එවැනි මතවාදයක් සඳහා පෙනී සිටිනවානම් ඇනෝනිමස් ලෙස හැංඟී සිට ගල් ගැසීමේ ක්‍රමයක් අප විසින් අනුගමනය නොකෙරේ. ‍සෙට් වීම් සාමාජිකයින් තම තමන්ගේ අදහස් තම තමන්ගේ අදාල මංගත නම් වලින් තම තමන්ගේ බ්ලොග් අඩවි තුල පැහැදිලිව සටහන් කර ඇත. එසේ තිබියදී අඥාතව ලිපි ලිවීමේ අවශ්‍යතාවයක් තවදුරටත් පැන නොනඟින බවට යමෙකු තේරුම් ගත යුතුය. 

ප්‍රතිචාර මඟින් පැහැදිලිව ඇනෝනිමස් ආතල් යනු සෙට් එකේ "වැඩක්"/"‍ගේමක්" නොවන බව පවසා තිබියදීත් සෙට් එකටම සියලු දේ බැරකර දැමීමේ ප්‍රයත්නයේ වගකීම භාර ගත යුත්තේ කවුද යන්න පිලිබඳව පැහැදිලි අදහසක් අප සතුව ඇත. නමුත් එලෙස ඇඟිල්ල දිගු කොට අපට ලැබෙන දෙයක් නොමැත. තම තමන්ගේ මොළ පරිමාව අනුව බුද්ධි මට්ටම සීමා වීම පිලිබඳව එම පුද්ගලයාට, පුද්ගල කණ්ඩායමට හෝ අපට සිදු කල හැකි දෙයක් නැත. මේ එක එකා ලබා උපන් හැටියැයි සිතා අපගේ වැඩක් බලා ගැනීමට අප යොමු වන්නේ එනිසාය. 

සෙට් එකේ ක්‍රියා කලාපය පිලිබඳ යම් විවේචනයක් තිබේ නම් හැංඟි හැංඟි ආතල් නොගෙන ප්‍රසිද්ධියේ එම විවේචනය යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ඒ එසේ විවේචනය කිරීමේ සාධාරණත්වය පිලිබඳ විවේචකයාට මතක් කර දීමට හැකි නම් ඉතාමත් අගනා නිසාවෙනි. 

මේ එසේ විවේචනය කිරීමට ලක ලෑස්තිවන්නවුන්ට කරන නිල නිවේදනයයි. ඇනෝනිමස් ආතල් සෙට් වීම් මගින් පවත්වාගෙන යන බ්ලොග් අඩවියක් නොවේ. එහි පලවන කිසිදු ලිපියක වගකීමක් අප විසින් භාර ගනු නොලැබේ. එවැනි වගකීමක් අප පිට පවරා දමා ස්වයං චූන් ගැනීමේ ආසාවක් යමෙකුට තිබේ නම් මෙය කියවා බලා එය සිදු කරන ලෙස අපි ඉල්ලා සිටිමු. තම තමන්ගේ මානසික මට්ටම හඳුනා ගැනීමට එවිට ඔහුට/ඇයට හැකි වනු ඇත. 

බොන්නේ අපිය....බොන්නට සෙට් වෙන්නේද අපිය....බීලා වැටෙන්නේද අපිය....කන්නේද අපිය....කන්නට සෙට් වන්නේද අපිය....කාලා නන්නත්තාර වන්නේද අපිය..

ඉරිසියා කරන්නේ උඹලාය..අපිව දැකලා යලිත් සෙට් වෙන්නේද උඹලාය..