FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

හලෝ මචං හෙනහුරාදා...

4.12.2012

හායි මෙයාලා.... කාලෙකට පස්සෙ නේ...

කල් යන්න යන්න හොඳ වෙන එව්වත් තියෙනවනේ... මේ කියන්න යන්නෙ එහෙම එව්ව ටිකක් ආශ්‍රය කරන්න අපේ කට්ටිය පෙරුම් පුරල පුරල යොදාගත්තු තවත් සෙට්වීමක් ගැනයි.

ඇත්තම කිව්වොත් මේක අපි කට්ටිය ග්‍රෑන්ඩ් විධියට හමුවුණ අන්තිම සෙට්වීම නෙවෙයි. ඊට කලින් එක. ඊටත් කලින් මේකෙ නොලීවට අපි තැන් තැන් වල කල්ලි ගැහුණා. ගොඩක් වෙලාවට හෙඩ් ඔෆිස් එකේ මාසෙකට සැරයක් අඩුතරමෙ කීප දෙනෙක් සෙට් වුණා. නමුත් කට්ටියම කාර්ය බහුල වීමත් එක්ක ඒ සෙට්වීම් ගැන ලියන එක ටික ටික මගඇරුණා. අවුරුදු දෙකක් ඇතුලත ජීවිත වල කොයි තරම් දේවල් වෙනස් වෙනවද? මේ අඩවියෙ අන්තිම සටහන ලියවිලා තියෙන්නෙ අවුරුද්දකට උඩදි. ඒත් 2011 මාර්තු මාසෙ වුණ බකාදි සන්ඩේ සෙට්වීම ගැන. අවුරුද්දක්ම නොලියපු එකටනං අපිව සුදු වෑන් වලින් ඉස්සුවත් මදි.

කොහොම වුණත් අවුරුද්දෙ මුල ඉඳන්ම කට්ටියට සෙට් වෙන්න උවමනාව තිබුණා. ඒත් අන්තිමේ කට්ටිය සෙට් වුණේ අහම්බෙන් වගේ බොහොම කෙටි දැනුම් දීම් කීපයකින්. නමුත් ඒ ටිකටත් මේල් කීපයක් හුවමාරු වුණා.

දිනය විධියට යොදාගත්තෙ මාර්තු 3 වෙනි ශනිදාව. තැන විධියට එක එක තැන් ගැන සලකලා අන්තිමට බෙනා අංකල්ගෙ යාළුවෙක් මාර්ගයෙන් ගල්කිස්සෙ 'හලෝ මචං' රෙස්ටුරන්ට් එක වැඩේට වෙන් කරගත්තා. කාටත් එන්න පහසු දවසක් වෙලා තිබුණත් පුවක්ඕව්ට, පුංචිහේවා වගේ මහත්වරු කීපදෙනෙක්ට එන්න හැකියාවක් නැති බව දැන්නුවා.

අදාල දවසෙ මම උදේම ගොඩගමින් කොට්ටාවටයි එතනින් ගල්කිස්සටයි බස් වල ඇද්දා. හලෝ මචං අවන්හල තියෙන්නෙ ගල්කිස්සෙ නොලිම්ට් එක කිට්ටුව. හරියට කිව්වොත් මවුන්ට් සිටි ගොඩනැගිල්ලෙ. තවත් හරියට කිව්වොත් ෆුඩ් සිටිය තියෙන බිල්ඩිමේ රූෆ් ටොප් එකේ. බැලූ බැල්මට මට හොයාගන්න පුළුවන් වුණේ නැත්තෙ ඒක තියෙන්නෙ උඩ තට්ටුවක හින්දා. ඒ වුණාට තැන මෙතන වෙන්න ඕන කිය කිය කැරකෙමින් මරේට ඇමතුමක් ගත්තම ඔන්න පොර ඉන්නවා ඇතුලෙ. එතනට යද්දි මරේට අමතරව රේවන් හා විශ්මි යුවලත් වැඩම කරල හිටිය. වෙලාව 10.30ට විතර වෙන්න ඇති. මරේ ඇවිත් තිබුණෙ පැය එකහමාරකට කලින්. වෙලාවල් ගැනයි අනිත් බයිලයි කියවමින් කට්ටිය ලිෆට් එකට රිංගුවා.

රෙසිප්ෂන් එකට අපි දැන්නුවා අපි කලින්ම අද දවසෙ එන බව කියල තිබුණ කියල. එතන හිටපු පොර එතකොට ඇහුවා ‘ආ... අර ෂොට්වෙයා ඉංජිනියර්ස් එක්කෙනාගෙ කට්ටියද?’ කියලා... අහපු මූඩ් එකෙන්ම අපට තේරුණා වැඩේ හරි කියලා. ඔය කියපු ෂොට්වෙයා පොර කලිනුත් මෙතන සෙට් වෙලා විනාස වෙලා තියෙනව වෙන්න ඕන කියල අපි හිතාගත්තා. රෙසිප්ෂන් එකේ හිටපු කෙනා පස්සෙ බොහොම හොඳට අපට මේස කීපයක් එකට තියල රෙදි දාල පුටු ළං කරල තැන හදල දුන්නා.

ඒ ස්ථානය මුහුද පැත්තට සම්පූර්ණවෙන්ම විවෘතයි. සෙට්වීමක් එක්ක දොඩමලු වෙන්න පුළුවන් අපූරු නිස්කලංක බවක් තිබුණා. රාත්‍රියකදි නම් තවත් සුන්දර වෙන්න තිබුණා. කොහොම වුණත් අනිත් අය එනකල් අවට ආශ්වාදය විඳින්න අපට පුළුවන් වුණා. මට මතක විධියට ඔය අතරෙ තමයි ජඩමාධ්‍යවේදී බිංදු සහෝදරයා පොළොව දෙදරවාගෙන සම්ප්‍රාප්ත වුණේ.

හලෝ මචං එකෙන් සැර ජාති ගන්න වෙන්නෙ නෑ. ඒව ගන්න පහල තියෙන ෆුඩ් සිටියට යන්න වෙනවා. අනිත් කට්ටිය එන අතරෙ ඒ ටික කරගන්න පුළුවන් නිසා හිටපු කට්ටිය පහලට ගියා. ඔය අතරෙ හපන් සරත්චන්ද්‍ර බිස්කට් එකකුත් හපමින් ආවා. මමයි පහනුයි කලින් සෙට් වලා නැති නිසා ඌ මගෙං ‘මම අරූ නේද’ කියල අහල දැනගත්තා.

ඊට පස්සෙ එන්න පොරොන්දු වුණ අයගෙන් හිටියෙ මලී සහ ආගන්තුකයා විතරයි. ගෙදර බලු ප්‍රශ්ණ විසඳලා උන් දෙන්නා අර මාධ්‍යවේදී බින්දුට නොදෙවෙනිව පොළොව ඉරි තලාගෙන එනකොට අපි ලාවට වැඩේ පටන් අරන් ඉවරයි. එත‍කොට වෙලාව 12ට විතර ඇති. හලෝ මචං එකේ සේවය නම් සතුටු වෙන්න පුළුවන් මට්ටමක තියෙන බව තේරුණා.



ඊට පස්සෙ සුපුරුදු ඩිකන් ඩෙවල්, ෆ්‍රයිඩ් රයිස් එක්ක දැන් මතක නැති එක එක ඒව හප හප සංස්ථා ඕල්ඩ් සහ ‍රන්පත් එක්ක අපි සෙට් වුණා. කාන්තාවො වෙන මොනවද එක්ක සෙට් වුණා. ඔය අතරෙ ලෝකෙටම තුනක් විතරක් හදපු, එයිනුත් ලංකාවෙම තියෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් දෙකක් එක තැනකදි සෙට් වුණා. ඒව ගැන අපි නොදන්න ටෙක්නිකල්ස් වලින් එයාල කතා කරද්දි අපි සුපුරුදු පොත්, සින්දු සහ බ්ලොග් එක්ක කච කචේ පටංගත්තා. කච කචේ කොයි තරම් දරුණු වුණාද කිව්වොත් මැනේජර් වගේ හිටපු මනුස්සයා ඇවිත් හෙමින් කිව්වා වොලියුම් අඩු කරන්න කියලා. ඔය අතරෙ නොහිතපු විධියට වීර පුරුෂයෙක් වගේ එතනට ආවෙ චමිල. එයා එන්නෙ නෑ...මයි කියල ඉඳල තමයි ඔය ආවෙ. ටිකක් රතු වෙන්න ඕන වෙලා...


ඉන් පසු වූ සිද්ධි දාමයන්හි තාපගතිකත්වය වත්මනෙහි දී අංශුමාත්‍රයකින් පමණ අවප්‍රමාණ වී තිබුණද එහි වූ කිහිප අයවලුන්හට මාස ගණනාවක් ඇරියස්කරණය වී තිබූ කර්ණ රසායන වූ වෘත්තාන්ත අටෝරාසියක් එතැන් පටන් ෂෙයාකරණය විය. සරල, සුගම, විධග්ග, විස්මෘත, මනෝ විකාර, ඇනොනිමස් සහ දේශ ද්‍රෝහී වූ කථා රාසියක් එහිදී අවකාශගත විය. ඒ අතර වැදුණා වූ මඩ ප්‍රහාර ඇතැමෙකුගේ මුහුණ වර්ණ ගන්වන ලදී. ඇතැමුන් හඬ තලමින් කොක්සන් දෙමින් දෑස් මානයේ තර වන්නට විය. ඇතැමෙකුගේ තොරතෝංචියක් රහිත වූ භාෂණය හමුවේ වුව මා එදින ගත කළේද බොහෝ සෙයින් නිහඬව බව මට මතකය. ඇත්තෙන්ම මා හට හැම විටම විකල්පයක් තිබිණි. මවිසින් දෙසන්නට සුදුසු වූ වදන් අනෙකකු දොඩවද්දී මා තවත් කැලරි ගිණිබත් කරනුයේ මන්ද? :පී ය

කතාවෙන් කතාවෙන් තුන්වෙනි ඕල්ඩ් බෝතලේ අඩිය පෙනෙද්දි කට්ටියටම ඇති හිතුණා.
ඒත් ගත කරන්න වෙලාව ඕන තරම් තිබුණා. ඉතිං මුහුදු වෙරළකට යමු කියල කට්ටියම කතා වුණා. යන තැන ගැන තර්ක කීපයකට පස්සෙ බින්දුට මතක් වුණා ගෝල් ෆේස් එකේ නානගෙ කඩෙන් ආයෙත් කන්න පුළුවන් නේද කියලා. ඉතිං බෝතලේ බෑග් එකේ දාගෙන කට්ටියම මෝටුවෙ ඉඳන් ආපු ටෝටුව බස් එකක නැගල ගාලුමුවදොරට ගියා.

එතනට ගිය ගමන් කට්ටියක් අනිත් අයගෙ බර කරට ගත්තා. සමහරු කැමරා මෑනුවා. ගොඩක් දෙනා ආයෙත් තමන්ගෙ ළමා වියට ගියා. හපෝ මේ මහ උන් ළමයි වගේ හැසිරෙන්න ගත්තම ඒක මහ මල වදයක්. පොඩි උන්ගෙන් නම් ‘නෑ.. බෑ’ කියල බේරෙන්න පුළුවන් වුණාට මහ උන්ගෙන් එහෙම ගැලවෙන්න බෑ. ඒ නිසා ආගන්තුකයගෙ පොකට් එකෙන් සරුංගලේකට තට්ටු වුණා. මගේ පොකට් එකෙන් තට්ටු වුණේ සබන් බෝල විදින ගැජට් එකකට.




අන්තිමේ ඒව උරුම වුණේ ගාළුමුවදොරට එදා දවසෙ ඇවිත් හිටපු ඇත්තම පොඩිත්තො දෙන්නෙක්ට. ගත්තු කට්ටිය ඉතිං ඕව ගෙවල්වල අරන් ගිහින් සෙල්ලං කරන්නයැ...

ඊට පස්සෙ කට්ටියක් ඕපන් සෝස් පාවිච්චි කරල සරුංගල් යැව්වා. තව කට්ටියක් ලස්සන අක්කලව බලන ගමන් එයාලව ඡායාරූපගත කරන්න තැත් කලා. තව සමහරු සාර විට කාල කාණු පල්ලෙ නොවැටී ඉඳගෙන හිටියා. තව අය පේන පේන හැම එකකටම කැමරාව මෑනුවා. තවත් අය පෝනියංගෙ පස්සවල් අතගෑවා. අන්තිමට කට්ටියම නානගෙ කඩෙන් නාන් කන්න සෙට් වුණා.


ඔය අතරෙ කළුවර වුණා. නාන් වලින් පස්සෙ එතන තියෙන සිමෙන්ති පඩිපෙලේ ඉඳගෙන නිමක් නැතිව ප්ලේන්ටි බොන අතරෙ අහම්බෙන් එතනට කඩාපාත් වුණේ හීනෙන්වත් බලාපොරොත්තු නොවුණ කණමදයා. තව නංගි කෙනෙකුත් එක්ක. වැඩේ අත උඩම මාට්ටු. ඌ ගිය ආත්මෙක දැකපු හීනෙකදිවත් පෙණුන දෙයක් නෙවෙයි ඌට වුණේ. ඒත් ඉතිං මක් කරන්නද? සුපුරුදු මඩ ගුලි හපන්න දීල නංගිටයි ඌටයි දෙන්නටම ප්ලේන්ටි අරන් දුන්නා.


දැන් වෙලාව 7යි. ගෙවල් වලට යන්න වෙලාව. එදා රාත්‍රියෙත් සෙට් වීමේ හැකියාවක් තියෙන නිසා මරේගෙන් නතර වෙන්න කියල ඉල්ලුවත් හැමදාම පාන්දර ටොයිලට් ප්‍රශ්ණෙ තියෙන නිසා මරේ යන්තං යන්නාම් කියාගෙන අඳුරට එකතු වුණා. පහන්, චමිල, රේවන් සහ විෂ්මි හතර දෙනාත් 138ක් ගන්න කොටුව පැත්තට ගියා. මලී, ආගන්තුකයා, බින්දු සහ මම ගාළු පාරෙ විනාඩි කීපයක් ඉඳල කළුතර බස් එකක නැග්ගා.

කාලෙකට පස්සෙ සතුටින් ‍ගතවුණ සෙට්වීමක් ඉවර වුණේ එහෙම. ඇත්තම කිව්වොත් ඒ හමුව අවසන් වුණේ මාර්තු මාසෙ අග යෙදෙන්න තිබුණ තවත් අවස්ථාවකට කට්ටියම සෙට් වෙමු කියන ‍බලාපොරොත්තුව මත. ඒ එක්කම ස්ථිර වුණේ අපේ සෙට්වීම් වාර්තා ආයෙමත් මේ බ්ලොග් එකේ ලිවිය යුතුයි කියන එක. ‍

හලෝ මචං සෙට්වීම ගැන ලියන්නම් කියල මම පොරොන්දු වුණා. මාර්තු අග වුණ සෙට්විල්ල වෙන එකෙක් ලියනව කිව්වා. බලාගෙන ඉමු...

එහෙනං කට්ටියට ජය වේවා... අදින් උදාවෙන අළුත් අවුරුද්ද 2500න් ගැටගහගන්න ලැබේවා...

5 ක් මඩ ගහලා:

Il mondo di una povera pazza said...

මොකද්ද අප්පේ ඔය කියන ෆෝන් එක?
සැම්සුන් ටෝයියෙක්ද?

hare :-) said...

එකක් සැම්සුං අනෙක එච්.ටී.සී.

Ansh Lucky Sri Jay said...

අඩේ අද තමයි දැක්කෙ පෝස්ට් එක. උඹලා සෙට් වෙච්ච එක ගැන නම් පට්ටම සතුටුයි. මං ෆොටෝ දැක්කා බුකියේ :D

අළුත් මල්ලි said...

ඕන් මාත් ආවා මේ පැත්තේ...

අටම්පහුර said...

ඇයි මම මමත් ආවා

Post a Comment