FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

සිනහව අතරින් කඳුලක් උපන්නා..

12.06.2010

ෆිට් එකේ අපි අපේ ජිවිත ඇතුලේ ගො‍ඩක් වෙලාවට එකතු වෙලා තියෙන්නේ අපේ හිත් වල තියන සතුට බෙදාගන්න.. අපි විශ්වාස කරනවා හැම වෙලේම අඩ අඬා හූල්ල හූල්ල ‍ජිවත් වෙනවට වඩා එතනින් එහාට ගිය තැනක ජිවතේ තියන එක හොදයි කියලා.. ඒ නිසයි මේ බ්ලොග් එකේ ලියන ගොඩක් දේවල් හිනාවට.. සරළ මිතුරු හමුවීම් වලට සීමා උනේ..

ඒත්..

ජිවිතේ කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස් අවිනිශ්චිත තා වලින් පිරුණු මොහොතවල් ගොඩක එකතුවක්..

ඒ නිසයි මේ ලිපිය අනිත් ලිපි වලට වඩා වෙනස් වෙන්නේ.. අපේ අවසාන හමුවීම සිද්ධ උනේ බදුල්ලෙදි.. බොහොම හදිස්සියේ.. ඒ වෙන කිසිම දෙයක් ‍නිසා නෙවෙයි.. අපේ ‍සහෝදර "එච්" හෙවත් හරේෂ් ගේ තාත්තාගේ අභාවය.. නිසියි.

ඒ පණිවිඩය කොයි තරම් හදිසියේ ලැ‍බුනු දෙයක් ද කියනවා නම් සිකුරාදා රෑ 8.45 ට විතර පණිවිඩය මුලින්ම අහපු හැමදෙනෙක්ම මුලින්ම ඇහුවේ.. ඇත්තක්ද නැත්තං විහිළු කරනවාද කියලයි.. කෙනෙක් ගේ මරණයක් විහිළුවක් විදියට ගන්නේ නැති වුනත් ඒ වගේ දෙයක් අහන්න අපි කවුරුවත් සූදානම් වෙලා නොහිටීමයි හේතුව උනේ..ඒ ප්‍රශ්ණෙන් පස්සේ ඊලග තත්පරේ අපි හැමෝම ගොළු ‍උනේ එතනින් එහාට මොකද කරන්නේ කියන හිස් තැනක් එකක්යි. තත්පරේකට ඒක අ‍පිට පෞද්ගලිකව සිද්ධවුනු දෙයක් උනා..

තාත්තා නැති වෙලා තිබුනේ හදිසියේම ඇති වුනු හෘදයාබාදයක් නිසයි..

ජිවිතේ කවදාවත් අපිට ආයේ අපේ එච් වෙනුවෙන් ඒ අඩුව පුරවන්න බැරි උනාට.. හැකි විදියට ඔහුත් එක්ක ඔහු ළගින් වෙලාවේ හැටියට අපිට කරන්න පුළුවන් ‍උපරිම කරන්නයි අපිට උවමනා උනේ..

හැකි හැම දෙනාම තමන්ට හැකි මොහොතෙම බදුල්ල බලා පිටත් උනේ ඒ හැඟීමෙන්.. බොහෝ හේතූ නිසා එන්න බැරි උනු අය හිත් වලින් දුක්වුනු බව අපි දන්නවා..

ඉරිදා දවසේ මළගෙදර වැඩ කටයුතු සිද්ධ කලා..

මං දන්නවා මේ වගේ වෙලාවල් බ්ලොග් ලියලා බෙදාගන්න සුදුසු අවස්ථා නෙවෙයි.. නමුත් ‍මම මේ ලිපිය ලියන්නේ හරේෂ් වෙනුවෙන් පහුගිය දවස් වල එකතු උනු අපේ අයට ස්තූති වන්ත වෙන්නයි..

මරේ,ලිශාන්,මුචා,ට ස්තූතියි සෙනසුරාදා උදේම පිටත් වෙලා අපි වෙනුවෙන් එහෙට ගියාට.. ඒ වගේම අවසන් කටයුතු සිද්ද කරන වෙලාව වෙනකනුත් එයින් පසුවත් එහි ගත කිරීම සම්බන්ධව..

හැමදේම ගැනම හොයා බලමින් අප වෙනුවෙන් වෙහෙසුනු රංගි අක්කාට ගොඩක් ස්තූතියි..

මෙයිට අමතරව ෆිට් එකේ අපේ අනිත් හැමෝටමත් ස්තූතියි අපිත් එක්ක අපේ දුක බෙදාගන්න එකතු උනාට..

විශේෂයෙන්ම කුෂාන් වන්නිආරච්චි අයියටයි ෆා ද බ්ලොගී ටයි ස්තූතියි අපේ යාළුවන් එහේ ඉන්නකම් එයාලාව බලාගත්තට..!

මීට වඩා මේ සටහන ලියන්න මට හිත් දෙන‍්නේ නැහැ.. අවසාන වශයෙන් හැමෝටම ස්තූතියි..

හරේෂ් ගේ තාත්තට තමන් විශ්වාස කරන ආගමකට අනූව මරණින් මතු සැනසීම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ... ඔහු නැති අඩුව අපිට හැමදාම දැනේවී...!

10 ක් මඩ ගහලා:

Ansh Lucky Sri Jay said...

මාත් සෙනසුරාදා මේ කට්ටිය එක්ක එන්න තමයි උන්නේ, මට එන්නට නොහැකි වීම ගැන හරේ සහෝදරයාගෙන් ආපහු සැරයක් සමාව ඉල්ලනවා. ඊට සති දෙකකට කලින් දාගෙන තිබුණූ වැඩක් සෙනසුරාදා උදේ කැන්සල් කර ගන්න බැරි වීම තමයි හේතුව වුනේ.

කෝක නමුත් අර කිව්වත් වගේ මාත් පණිවුඩය ලැබුණ ගමන් ඉස්සෙල්ලම මුචාගෙන් චැට් එකේ ඇහුවෙ මේක ඇත්තක්ද කියලා, ඒ තරමට මේ වගේ දෙයක් ඒ වෙලාවෙ බලාපොරොත්තු වුනේ නෑ.

ඇත්තටම බොහොම කණගාටුදායක ආරංචියක්, ඒ අඩුව පුරවන්න කාටවත් බැරි වේවි.
හරේ ගේ තාත්තට නිවන් සුව පතනවා..!!

මුචලින්ද said...

තාමත් මෙතනට මොකුත් ලියාගන්න තේරෙන්නේ නෑ. මට වඩා අවුරුද්දක් දෙකක් හරි වැඩියෙන් ජීවත් වෙච්ච උනුත් මෙහෙම අවස්තාවක නිරුත්තර වීමම මේ සිද්ධිය අනපේක්ෂිතයි කියලා ඔප්පු කරන්න සාක්කියක්. අපි සෙට් උනා, අපි කෑවා බිව්වා, ෆන් එක කියන එකේ අමුතුම දෛශිකයක් අපි විඳිනවා. කොටින්ම මේක කියවන කට්ටියට පේනවා කමෙන්ට් කරන්න ෆෝම් හෙඩිම වෙන්නෙත් "ක් මඩ ගහලා" විදියට. ඒ තරමට ෆන් එහෙක හිටපු අපිට මේ බ්ලොගට තාම දාන්න උනේ දුකට බර ලිපි දෙකයි. අපේ පැටී නැති වීමත්, හරේෂ් අයියගේ තාත්තගේ අභාවෙත්. තවත් කියන්න දේවල් නෑ.

එහේ ගිය වෙලේ ඉඳන් මරේවත්, ලිෂාන්වත්, මාවත් හොඳින් බලාගත්තු, පරිස්සම් කරපු, අපේ එවුන් කියලා අපිට දනවපු කුෂාන් ලොකු අයියටත්, ෆා අක්කටත්, කුෂාන් අයියගේ අම්මටත්, කුෂාන් අයියගේ නගාටත්(මට අක්කා) බොහෝමත් පිං!

දුමී said...

හරේශ් සොයුරාගේ පියාණන් හට ඔහු පතනා මෝක්ෂ සුවය අත්වේවා !!

නුඹලාගේ සහෝදර කම ඉතා ඉහලින් අගය කරමි. මිතුරෙක්ට දුකේදී පිහිටවන්නා තමයි නියම කල්‍යාණ මිත්‍රයා !!

LishWish said...

මේ ජීවිතයේ අපි අරගෙන එන එකම ස්ථීර දේ ඕක විතරයි..!
මම හොඳටම දන්නවා හරේෂ් ඒක් තේරුම් ගන්න තරම් නිරවුල් මනසකින් ඉන්න කෙනෙක් කියලා..!

ප.ලි►
කුශාන් සහ ෆා ඇත්තට ම අපිට ගොඩාක් ලොකු සහනයක් උනා..! මොකද ඒ වෙලාවේ ඒ දෙන්නා නියම යාලුවෙක් කියන්නේ කවුද කියන නිර්වචනයට හරියට ම ගැලපුන නිසා..! ස්තූතියි කුෂාන් සහ ෆා..!

ආගන්තුකයා | Stranger said...

ඇත්තටම මටත් හිතාගන්න බැරිවුනා.. කොහොමත් අපි අපිට නැත්නම් කාට ඉන්නද? එහෙම නැත්නම් නිකං කන්නයි බොන්නයි විතරක් යාළුවෝ කොස් කොටන්නද?

said...

කුශාන්ට සහ ෆා නම් කලේ ලොකු උදව්වක් , අපි බදුල්ලෙන් බැහැපු වෙලේ ඉඳන් ආපහු එනකම්ම අපි ගැන බලපු එක. එහෙම නොවුනනම් හරේට අපිවත් බරක් වෙනවා තියෙන වැඩ අස්සේ. අපේ සියළුම දේවල් කුශාන් බලපු නිසා හරේ එකෙන් නිදහස් වෙලා අනික් වැඩ කටයුතු කරගන්න පුළුවන් උනා.
කොහොම උනත් අපි හරේලගේ ගෙදර යන්න හිටියේ මෙහෙම දේකට නෙමෙයි යන්න උනේ මේ විදිහට උනත්
හරේගේ තාත්තට නිවන් සුව පතමි!!

Il mondo di una povera pazza said...

හරේශ් ගේ තාත්තාගේ අභාවය දැනගත්ත ගමන්ම ලසිත මට කෝල් එකක් දුන්නා. ඒ වෙලාවේ මට එකපාරටම මතක් උනේ මම ලංකාවේ හිටියා නම් කියලා. ඒ මොනවටවත් නෙමෙයි අපේ එකෙක්ගේ දුකේදි ඌත් එක්ක ඒක බෙදාගන්න එක තරම් තවත් දෙයක් අපි කාටවත් කරන්න බැරි නිසා.
මට කරන්න වෙන කිසිම දෙයක් තිබුනේ නෑ හරේශ් මලී ලසිත මරේ හා එක එක අයට කෝල් දෙමින් විස්තර අහනවට වඩා. මට ඕනේ උනේ අපේ එකෙක්ගේ දුක එක්ක අපි හැමෝම ඒ විදිහටම ඒ දුක විඳින බව අඟවන්න විතරයි. ඒක ස්තුති කරන්න තරම් දෙයක් නෙමෙයි.(ඒක කොහොමත් මම දන්න කියන ඕනෙම කෙනෙක්ගේ දුකකදි මම කරන දෙයක්...)
කොහොමත් තව කෙනෙක්ගේ දුකේදි සැපෙදි හිනාවෙන්න අඬන්න පුළුවන් අය ඉන්න එකම ලොකු සතුටක් ළමයිනේ.

නොදරුවා said...

කෙනෙකුට වටින කෙනෙක් නැති වුණාම ඒ කෙනාට මොනව කියන්නද කියල මට කවදාවත් හිතා ගන්න බැහැ. මේ වගේ වෙලාවකදී ඒ මනුස්සයගේ හිත හැදෙන විදියට කතා කරන්නද, මගේ සෝකය ප්‍රකාශ කරන්නද... ඒ හින්දම මම තාම හරේෂ්ට කතා කලේවත් නැහැ. මගේ අවාසනාවට මට එහේ යන්න හැකියාවක් තිබ්බෙ නැහැ. සමුගත් කෙනා මතකයේ රඳවාගෙන උඹට ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා. ජය!

දුකා said...

වෙලාවකට හිතලා බැලුවාම ජීවිතය කියන්නේ සිදුවීම් සමුදායක් නේද කියලා හිතෙනවා.

අපි ඒ සිදුවීම් දිහා බලමින්, විඳිමින් විඳවමින් ඒ ගැන ඩමින් කියෝමින්, බනගනිමින්, සාපකරමින්, හිනාවෙමින්, මේ විදිහට එක එක දේවල් කරමින් ඒ සිදුවීම් වලට මූන දෙමින් සිටිනවා නේද කියලත් හිතෙනවා.

චමිලට කෝල් කරල ලයින් එක ක්ලියර් නති නිසා ලසියගෙන් හරේශ් ගේ නොම්මරේ ඉල්ලගෙන කෝල් කරපු වෙලාවේ උගේ කටහඬේ තිබුනේ ඌ මේ ජීවිතේ ගන බොහෝම හොඳින් තෙරුම් ගත්තු එකෙක් බව.

ඇත්තටම උගේ පෝස්ට් කියවලා ඌ ගන ඇති කර ගත්තු හැඟීම තහවුරු වුනා කිව්වොත් නිවරදියි.

බ්ලොග් අවකාෂේ නිසා අඳුනගත්තු මේ අපි හැමෝම සුහදත්වයෙන් එකා එකාගේ දුක සැප බෙදා හදා ගන්න එකට ඉන්න්වා කියන එක ගන හිතෙන කොටත් මට නම් හිතෙන්නේ මාරම සතුටක්.

මලී කිව්ව වගේ හරේගේ තාත්තාට ඔහු අදහූ ආගමකට අනුව මෝක්ශය ලැබේවා.

h said...

ඒ වෙලාවෙ උඹල නිසා දැණුන හයිය මොනතරම්ද කියල තේරුණේ ගොඩක් පහු වෙලා. ඔළුව විකාර වෙලා වැඩ වලට එහෙ මෙහෙ වෙවී ඉන්න අතරෙ බැල්මකින් හරි දැකල ෆිට් වෙන්න උඹල එතන රැඳුන එක මට ලොකු දෙයක් වුණා.

‍ඒ ගැන කියන්න මට වචන නෑ... හිතපු නැති තරම් යාළුවො තොගයක් පුංචි කාලෙකින් ගෙදරට ආවා කොලඹ ඉඳන් හෙන කට්ටක් කාගෙන. උඹලත් ඒ කට්ටම කෑවා. නමුත් ඒක මට පුංචි සතුටක්. මම සාමාන්‍යයෙන් මං වෙනුවෙන් අනිත් උන්ට කටු කවන්න කැමති නැති වුණාට මම වනාහි උඹලට එහෙම කට්ටක් කන්න වටින යාළුවෙක් බව උඹල හැමෝම මට කිව්වා.

ඒ අස්සෙ උඹලව බලාගන්න වගකීම මගෙන් අතට අරන් සියළු උවමනාවල් සැපයීමේ කර්තව්‍යයට මහන්සි වුණ කුෂාන්ට මගේ උපරිම ස්තූතිය. ඌයි ෆායි දෙන්න හිටපු නිසා උඹල ටිකක් ෂේප් වෙන්න ඇති.

මටත් කියන්න දෙයක් එන්නෙ නෑ. ඒත් උඹල හැමෝටම මගේ සර්වාංගෙන්ම ස්තූති කරන්නම්! ආවා නැතා අවුලක් නෑ උඹල සේරම මිනිහෙක් දුකට පත් වුණාම ඌත් එක්ක දුක් වෙන්න පුළුවන් උන්...

Post a Comment