FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

අපි @ BMICH

10.02.2010



කාලෙකින් කවුරුවත් ලියලා නැති හින්දයි මං තාම එකක්වත් ලියලා නැති හින්දයි මං හිතුවා නොදන්න අපේ අයගේ දැනගැනීම පිණිස අපි අන්තිමට සෙට් වෙච්චි පොත් ප්‍රදර්ශනේ දවස ගැන සුට්ටක් ලියලා තියන එක හොදා කියලා..

ඔන්න ඉතිං මේල් හරහා කතා කරලා කරලා අන්තිමේ අපි 24 සිකුරාදා උ‍දේ 10.00ත් 10.30ත් අතර වෙලාවෙදි එක්සිබිශන් හෝල් එක ඇතුලෙදි සෙට් වෙන්නනේ හිටියේ.. හැබැයි ඉතිං වෙලාව කියන්නේ 24 වෙනිදා පටන් ගත්තෙම දවස පුරා පවතින තත්වයේ වැස්සකින්.. ඒත් ඉතිං වැස්සකට පුළුවන්ද අපිව නවත්තන්න.. ‍කොහොම කොහොම හරි පැය පැය පරක්කු වෙලා මං 12 ට විතර අපේ මෑණියැන්දැ එක්ක ප්‍රදර්ශණ භූමියට සේන්දු උනා..

මඟදිම සබා මෑණියෝ වැඩියා කියලා මැසේජ් එකක් ඉර්දි බලෙන් වගේ වැඩියා.. අබාට කැම්පස් එකෙන් එළියට බහින්න බැරි තරමේ මහා වැස්සක් වහිනවා කිව්වට ඒ වෙලාවෙම තුන්‍මුල්ලේ හිටි හරේ ට නම් මල්වැස්සක් වගේ ලා වැස්සක් ඇරෙන්න මොකුත්ම නෑ කිව්වා.. අනේ මන්දා ඉතිං කවුරු ඇත්ත කිව්වද කවුරු බොරු කිව්වද කියලා නම්..

දැන් ඔන්න මායි අපේ මව් තුමියයි අපේ කස්ටිය හොයාගෙන හොයාගෙන යනකොට එකපාරටම සෙනග මැද්දෙන් පූංචි අලි පැට්ටෙක් වගේ බිංදුවක් ඇවිත් ඇගේ ගෑ‍විගෙන ගියා.. ඕක දැක්ක එකේ ඉලක්කමකට පොඩි ජේ එකක් වගේ එකක් ඇවිත් අනේ අපේ ඇගෙත් පොඩ්ඩක් හැප්පෙන්නකෝ කියපී... :-S ඔය අස්සේ අනිත් ඔක්කොම කුඩ ඉහලන් ඉද්දි රැස් වලල්ල මුවා වෙයි කියන බයට අපේ සබා මෑණියෝ තෙමෙනවා හෝ ගාලා.. පුළුවන් කමක් තිබ්බනම් මම ‍ඒ වෙලාවෙම එතුමියගේ කණ්නාඩි කුට්ටමට වයිපර් දෙකක් හයි කරලා දෙනවා ඇත්තමයි..

ඉතිං පොත් වලට පෙර කෑම කියලා කට්ටිය පැය බාගයක් විතර හිටගෙන කන්නේ මොනාද කියලා සාකච්ඡා කරලා කුසගින්නෙම ප්‍රදර්ශණ භූමියට සැපත් උනා.. මුලින්ම අපි නම් ගියේ විදර්ශන කුටියට.. එතනදි ගත්ත බොබ්මාලේ ගේ පොතට පෝස්ටර් එකක් ලැබෙනවාලු.. දැන් ඔන්න පොත ගත්ත කෙනාට තව පෝස්ටර් එකක් ඕනී උනා.. ඔය අස්සේ තව කෙනෙකුට පොත නෙවෙයි පෝස්ටර් එක විතරක් ඕනි උනා..මම එතනම ඉදගෙන පාඨක සමාජේ ෆෝම් එක පිරෙව්වා.. මට ඇහෙනවා හරී අහිංසක හඩකින් කෙනෙක් කියනවා..."මං ගිය සතියේ පොත් ගත්තා මට හම්බ උනේ නැහැ නේ පෝස්ටර් එකක්.." ඔය ලණුව කෑව පොත් කඩේ අක්කත් හානේ ඇත්තද මල්ලි එහෙනම් ඉන්න තව එකක් දෙන්න අපෙන් වැරැද්දක් වෙලානේ.. කියද්දිම අර මාර්ලි ගේ පොත ගත්ත පොර "මචං උඹත් පොත ගත්තද...?" කූජීතයි... පුදනකොටම කාපී යකා කිව්වලු.. හොද වෙලාවට අක්කට මීටර් නෑ.. ඉතිං එක පොතට පෝස්ටර් තුනක්ම අරන් කට්ටිය එතනින් එළියට ආවා..

ඔය වගේ පොඩි පොඩි ජොලි කතා ගොඩක් උනාට පස්සේ අන්තිමටම මායි.. අපේ එකයි.. බිංදුවයි ගියා සංහිද එකට පොතක් ගන්න.. ඔය අස්සේ අපිත් එක්ක හිටි ජෝඩුවක් ම්හු.. හොයා ගන්න නෑ.. උන්ව හොයනවට‍ වඩා ඉතිං පොත් ගන්න එක වටිනවනේ කියලා පොත් බලද්දි මෙන්න අර ස්ත්‍රී පරානේ නලාව පිඹගෙන එනවා..."මචං අරූ මාව වෙන දිහාවක එක්ක ගියානේ.. උඹලා මෙතනද.. " අපොයි.. මුළු පලාතෙම හිටි මිනිස්සු අපි දිහා බලනවා.. කොහෙන් ආව වනචාරී ටිකක්ද කියලා.. ඒකත් හරි කියමුකෝ.. සංහිද එකේ ඉදගෙන ඒකේ අයිති කා‍රයගෙම පොතක් අරගත්තට පස්සේ එතන ඉන්න මිනිස්සු ඉස්සරහම හපෝ ඕකත් ගත්තද ඕක මෙලෝ රහක් නෑ යකෝ.. මොකටද ගත්තේ කියලා කියන එක ටිකක් අප්සට් වගේ උනාට එහෙමම කියන්න තරම් පොරවල් නේ ඉතිං ඉන්නේ..

එතනින් පොත් ගැනිල්ල ඉවර උනාට කෑම බීම ඉවර උනේ නැහැනේ.. ඉතිං එම් සී එකට ගොඩ වැදිලා කට්ටිය උදේටයි දවල්ටයි හවසටයි තුන් වේලම එක වේලට කාලා අයිස්ක්‍රීම් එකකුත් දෙසා බාලා අපි අරගත්ත පොත් පත් ටිකත් උස්සගෙන ගෙවල් බලා සතුටින් විසිර ගියෙමු..

ප.ලි - නොගිය අයට මේකේ සමහර තැන පැටලිලි සහිත ඇති..සොරි තමයි.. ලිව්වේ මම නේ..හික්.

  • අනිත් අය කිරිපැකට් අතට ගන්නත් කලින් බෝතලයක්ම බීලා ඉවර කරපු අයත් ඔය අතරේ හිටියා.
  • කොල්ලුපිටියෙන් බහිනවා කියලා බස්එකේ කොටුවටම ගිය අයත් හිටියා.
  • ගෑණියි පොතුයි තෙමුනත් කමක් නෑ මාර්ලිගේ පොස්ටර් තෙම්මන්න එපා කියපු අයත් හිටියා.
  • මහ වැස්සේ තෙමි තෙමි හොට් නෙස්කැෆේ නොබී කූල්ම ඕනි කිව්ව අයත් හිටියලු... හැබැයි මං නම් එක් හරියටම දන්නේ නෑ...

Fit එකේ Set එක

8.24.2010

      කට්ටියම සෙට්වෙලා වැඩි තරමට පෝස්ට් ලියන්න වෙලාවක් නෑ වගේනේ. මෙන්න ඒක හින්දා මගෙන් එකක්.

 සිංහල බ්ලොග් අස්සේ අපි කිහිප දෙනෙක් ගල් බෝතල් ගැන, සිගරට් බොන කෙල්ලෝ ගැන, තෝසෙ ගැන,කාපු බීපු තැන්, වයින් එක්ක ජීවත් වෙන හැටි වගේ දේවල් කතා කරනවා මීට අවුරුද්දකට විතර කලින්. ඒ කතා අස්සේ කවදාවත් හීනෙන් වත් නොදැකපු අය තමයි හිටියේ. ඒත් බ්ලොග් එකක් අස්සේ කොමන්ට් එකක් දාලා හරි අපි සෙට් වෙමු කියන්න තරම් අපි පොරවල් උනා. ඒ පොර කතා කොයි තරම් ද කියනවා නම් කවදාවත් හමුවෙන්න හිතාගෙනවත් නොහිටි අපි ටෙලිෆෝන් කෝල් එකෙන් දෙකෙන් බොහොම කෙටි දැනුම් දීම් වලින් එකම දවසක සෙට් වෙනවා. කිහිප දෙනෙක් හැර අපි අනෙකාව කලින් දැකලා වත් තිබ්බේ නෑ. ඒත් ඒ හමුව තරම් අපේ ජීවිත මේ මෑත කාලයේ වෙනස් කරපු කිසිම දෙයක් තිබුනා කියලා මතකයක් නෑ. එදා දවස පුරාම අපි හිනාවෙන් කතාවෙන් ගෙවලා දැම්මට මොකද අපි හැමෝටම අපි අපිව කාලයක් තිස්සේ දන්න කියන අය වගේ දැනිලා තිබුනා කියලා තමයි හිතුනේ.
    එහෙම නොවුනා නම් මේ වෙද්දි අහිංසක පොඩි බබා වගේ හිටපු කෙනෙක් ඕනෙම පොරක්ව වචන දෙකෙන් මියුට් කරන ලොකු මැරයෙක්වත්, ඒ මැරයා කියන දේවල් තවත් තත්පර දෙකකින් ක්‍රියාවට නංවන උප මැරයෙක්වත්, මට අනුව මම පොරක් කියන කෙනෙක් පුංචිම පුංචි දේටත් අඬන පොරක් වෙන්නවත්, ගල් ගැනම කියවපු මරණය අතින් අරන් ආව එකෙක් ප්‍රේමවන්තයෙක් වෙන්නවත්, පින්තූරයක් දිහා බලලා තත්පරෙන් කවි ලියලා මම අහවලා කියපු එකා එක පාරට රාවනා වෙන්න වත්, රට පුරාම තියෙන කෑම ටික කාලා අලියෙක් වෙලා හිටපු කෙනෙක් බිංදුවෙක් වෙන්නවත්, ආන්ඩුවේ කන්තෝරුවකට වෙලා අයිස් ගහපු පොරක් මඩාරේ වෙන්නවත්. අර මැණික් හොය හොයා හැම තැනම යන චූටි මහත්තයා ණළ දත් වෙන්නවත්, රජරට පරම්පරාවේ වැව් අමුණු එක්ක ජීවත් වෙච්ච පුරාණයෙක් කණමදයෙක් වෙන්නවත්, පිටස්තරයි කියලා හැමෝම හිතන් හිටපු එක්කෙනෙක් ලැක්ටෝජන් විතරක්ම බොන කිරි හාවෙක් වෙන්නවත්, අනිවා ඩෙෆා වෙච්ච එකෙක් කරෝල වෙන්නවත්, ට්‍විටරේ ආත්මෙම කරගත්ත කෙනෙක් වාලම්පූරි කෙනෙක් සබා මෑණියෝ වෙන්නත් කොහොමටවත් විදියක් නෑ. 

      ඔය අස්සේ එකම ඉස්පිරිතාලෙක අවුරුදු පහෙන් පහට ඉපදුනු අයත් ඉන්නවා. ඒ විතරක්ද කන්න ගියාම ගල් විතරක් නොකන එවුන්ද මහ ගොඩාක් ඉන්නවා. ඇයි ඒ විතරද කැමරාවක් අතේ තිබුනාම ඉමක් කොනක් නැතිව අරහෙට මෙහේට ෆොටෝ මරපු එවුන් එහෙමත් බොහොමයක් ඉන්නවා.( ඔය අස්සේ දෙකට ගනින්න බෑ කියලා හිතන් හිටපු සුදු පුතාල උනු අය adults only බලන අය එහෙමත් වුනාලු.) උදේ අටට පටන් ගත්තාම එක දිටට පැය 40ක් විතර සිංදු කියන එවුන් හෙම. අම්මෝ ලිස්ට් එක හෙන දිග වෙනවා නේ. 

  හිතන්න පුළුවන්ද මොනවා හරි අවුලක් උනු ගමන් මේ අය මේ වෙද්දි එකිනෙකාට මරණීය තර්ජන කරන්න තරම් මේ අය දියුණු වෙලා. එහෙමත් නැත්නම් අනෙකාගේ ලෙඩකදි දුකකදි ඒ වෙනුවෙන්ම කැප වෙලා බලා කියාගන්න තරම් සමීප වෙලා. මේ කියන අය මීට මාස කිහිපයකට කලින් නිකම් නිකම් බ්ලොග් අස්සේ කොමන්ට් එකක් දාපු අය විතරක්ම වෙලා අද වෙනකොට මේ තරම් දුරක් ඇවිත් කියලා හිතනකොටත් හිතට දැනෙන්නේ හරිම පුදුමයක්. ඒ වගේම තවමත් මිනිසුන් එක්ක ජීවත් වෙන්න ඒ අස්සේ ඒක රස විඳින්න පුළුවන් කියලා දැනෙන එකයි හරිම නිදහස්.
  මෙහෙම සෙට් එකක් සෙට් වෙන්න ෆිට් එකට හදා ගත්තු තැන තමයි මේ. ආයේ ආයෙත්, අපිට අමතක නොවී ඒ මතක ආපහු දවසක කියවන්න මේ දේවල් සටහනකට ගේන්නම ඕනේ කියලා හිතලා ලියන සටහනක් තමයි මේ.

ආයෙත් යලිත් නැවතත් සෙට්...

8.15.2010

මෙය හුදෙක් අපි තාම ෆිට් එකේ සෙට් වෙන බව කියන්න ඕන කමට ලියන දෙයක් මිසක් වෙන කිසිම උවමනාවක් වෙනුවෙන් ලියන එකක් නෙවෙයි.

ඉතිං ආයෙත් ටිකක් දුරක ගිහින් ලුණු වතුර නාල කරල සෙට් වෙන්න දාගත්තු ට්‍රිප යන්න පෙරුම් පුරන සතියක් හෙටින් උදා වෙනව. ලබන සෙනසුරාදා පාන්දරින් පිටත් වෙලා වරුවක් සුරාවෙන් සහ ජලයෙන් පෙඟිල තෙත බරිත වෙල ගෙවන්න ඉඩක් ලැබෙනව. මාසයක් පුරා නොදැකපු මූණු ටික පෙනි පෙනී අහක බලාගෙන එක එකාව බයිට් කිරීමේ මහා ගුවන් විදුලි සංවාදය ගුවනට මුසු වෙනව. හිතන විධියට රජරටින් නැතත් ඔය ලංකාවෙ අල ගිය මුලගිය ගායක ගායිකාවො සෙට් එකකුත් එදාට අපිත් එක්ක සෙට් වෙනව. ඇයි ඒ මදිවට අර කඩදාසි මිටි වල රැඳිල හිත පුරා විහිදිල ඇඟට කා වැදුණු ලියන්නො සෙට් එකක් අපිත් එක්ක එකතු වෙන්නයි ඉන්නේ... එයාල ගැන හොඳටම දන්න පිටස්තරයෙක් නම් පිටස්තර බව දන්වලත් ඉවරයි...

ඉතිං මං බලාගෙන ඉන්නෙ අංජාට පස්සෙ අපේ නව ඔපීසියල් කැමරා සිල්පි බිංදු මහත්තයගෙ නූතන රූපලාවන්‍ය ටෙක්නොලොජිය මාර්ගයෙන් අවුවෙ කරවුණු පොත්ත ටිකක් සුදු කරගන්න...

ගෙනියන්න ප්ලෑන් කරල තියෙන බෝතල් ටික මදි වෙල මුහුදු වතුර ගොජ ගොජ ගාල ගුදම්කරණය කරන මරණයේ සේයාව දැකගන්න...

අදත් එදත් හෙටත් කවදත් කතාබහක් නැති, නමට විතරක් ඕන ට්‍රිපකට එනව කියල පොරොන්දු වුණ නිසා අපිත් එක්ක එන්න සෙට් වුණ, ගැමුණු පරම්පරාවෙන් එකෙක් ඉන්න නිසා ධාතුසේන පරම්පරාවෙන් පැවතෙනවාය කියල පම්පෝරි ගහන අසංගායකයානන්ගෙන් ෆෝන් සින්දු අහන්න...

හැමදාම හොඳම බයිට් හදල දුන්නත් බයිට් වෙන්නෙ නෑ කියල හිතාගෙන ඉන්න මල් ඉත්තක් බයිට් එකට ගන්න...

අළුත්ම කෘෂි සහ පතල් කැණීම් උපකරණ සමාගමක හිමිකාරයෙක් වුණ අවිස්සාවේල්ලෙ ලොකු මහත්තය කිව්වම කවුරුත් දන්න පැතුමක් පතන්න...

ලොකු බඩක් තියෙන, නෙට්වර්ක් වයර් එකක් ඔතාගෙන විලි වසාගත්තු චරිතවත් පුද්ගලයෙක් සහ ඒ වයර් එකේ කොන ප්ලග් කරල තියෙන එයාගෙ හරිම බිසී නංගිව බලන්න...

බුදුන්ට පස්සෙ දුෂ්කර ක්‍රියා අත්හදා බැලීමේ රුදුරු ආසාවකින් පෙලෙන ඒ වෙනුවෙන් මාස කීපයකට වරක් දැඩි වෙහෙසක් ගන්නා අතරම හදි හූණියම් දෙහි කැපිලි තොවිල් වස් කවි වලට ටුවිටරේ ඇඩ් දාන සාත්තර අම්මණ්ඩිට කියල කේන්දරේ බලවගන්න... (බුදු අම්බෝ...)

එනවා එනවා කිව්වට තාම සුවර් නැති මයිනෙක්ගෙන් කට්ට කළු වීඩියෝග්‍රැෆි පාරක් දාගන්න....

අරක්කු වලින් නොනැවතී ඕනම දියර වර්ගයක් වහාම උරාගන්න පුළුවන් හැකියාව ගැන ප්‍රකාශ විද්‍යාවෙන් සමීක්ෂණ වල යෙදෙන බ්ලොටින් පේප‍රයක් මුහුදට දාල මුහුදු වතුර මට්ටම ඉහල යාමේ ලෝක අර්බුදයෙන් ලෝකය බේරගන්න...

ට්‍රිප ආවෙ නැතත් අවුරුදු හැට පහක ඩබල් පොරක් කියල හිතාගෙන ඉන්න මැරයෙක්ට කෝල් එකක් දීල වැඩිය දඟලන එවුන් මට්ටු කරන්න...

හැමදාම අපේ සෙට්වීම් ආදරෙන් බාරගත්තු, ඕනම වෙලාවක නෑ බෑ නොකිය විවෘත වෙලා ඉන්න අපේ වැඩිහිටි යාළුවො දෙන්නට එයාලගෙ තරුණ කාලෙ මොහොතවල් මතක් කරවන්න...

හ්ම්.....

මම දන්නව මේ සේරම මගේ ආත්මාර්ථකාමී ප්‍රාර්ථනා කියල... ඒක එහෙම වෙන එක සධාරණයි... මොකද මුන් සේරම බලාගෙන ඉන්නෙ ට්‍රිප ගිහින් ඇවිල්ලත් මම ඒකෙන් ගැලවෙන්න බැරිව මඩ නානව බලන්න...