හැබැයි මේ සෙට්වීම පටන්ගන්නෙ සිකුරාදයින්.. ඒ නිසා එතනින් පටන්ගන්නම්...
වල් බල්ලෝ පොශ් බල්ලෝ ගල්කිස්සේ උණු බල්ලෝ...

අපේ මුචා ලියපු සටහන දැකපු දවසෙ ඉඳන් කාලයක් පෙරුම් පුරල පුරල යන්න ප්ලෑන් කරපු ගල්කිස්සේ ස්ටාර් ඩෝග්ස් හොට් ඩෝග් අවන්හලට යන්න මටයි ලතීටයි පුළුවන් වුණා.. ඒකෙ තියෙන නරක පැත්තට බර හොට් ඩෝග් දෙකක් කාල තවත් පෙප්සියක් බීගෙන ඉද්දි වැල්ලවත්තෙ ඉඳන් පැය බාගයක් තිස්සෙ ගල්කිස්සට ආපු බෙනා මාමා හෙවත් ගම්පෙරළියෙ පියල් එතනට ගොඩවැදුණා. ඔන්න ඉතිං මනුස්සයත් වාඩිකරවගෙන හොඳ පැත්තට බර හොට් ඩෝග් එකකට ආයෙ වග කිව්වා... ඊට පස්සෙ ගාළු පාරෙ බස් වලට බැණ බැණ ඉඳලා අන්තිමට ඒකකම නැගලා වාද්දුවෙ මූලස්ථානෙට වාර්තා කලා.
චාටර් කූඹියා 2 - පොලිස් බල්ලා...
කට්ටිය දන්නවනේ අපේ හිටපු පොරකට පොලෝසියේ ASP ධුරයක් ලැබෙන්න යනව කියල... ඕක දැනගත්ත වෙලේ ඉදන් මූලස්ථානෙ ඉන්න කළු බල්ලට ඉවසිල්ලක් නෑ... ඌ පුංචි කාලෙ ඉඳන් ප්‍රාර්ථනා කරල තියෙන්නෙ පොලිස් බල්ලෙක් වෙන්න. ඒකට ඕන කරන බාහිර හැඩහුරුකම ඌට තියෙනවා... ඉහලින් පොඩි තල්ලුවක් තිබ්බනං බල්ල ඇතුලේ... ඉතිං මේකාට අපේ ඒ.ඇස්.පී. වෙන්ඩ යන පොර ගැන ආරංචි වුණා විතරයි පිස්සු හැදුණා. බල්ලත් අදාල පොර වගේම ලොකු රැවුලක් වැව්වා... බොහොම අමාරුවෙන් ඒක මේන්ටේන් කලා... දැන් ඔය සිකුරාද දවසේ අපේ පොර මූලස්ථානෙට එන බව කිව්වම බල්ලත් මෙලෝ සිහියක් නැතිව හිටියේ... දැන් ඌටත් රැවුලක් තියෙන නිසා පොලිස් චාන්ස් එක ඉහටත් උඩින් කියලයි ඌ හිතාගෙන හිටියෙ...
ඒත් අනේ උගේ කරුමෙ කියන්නේ ඒ.ඇස්.පී පොර ආවෙ රැවුල කපලා... උගෙ සම්පූර්ණ සිරසම සෝදාපාළුවට ලක්වෙලා... ඔළුව උඩ ගම්පෙරලියක් විතරක් පේන්න තිබුණා... හයියෝ බල්ලට වෙච්ච දේ...
ඒත් මේකා උත්සාහෙ අතෑරියෙ නෑ... අපේ සපත්තු හපන ගමන් ඌ ගිහින් ඒ.ඇස්.පී ගෙ සපත්තු ලෙව කෑවා.. අඩුගානෙ එහෙමවත් චාන්ස් එකක්....
බල්ල නිවුස් බලල තමයි ඔය ට්‍රිස්ක් ඉගෙනගෙන තියෙන්නේ...
මූලස්ථානෙ
ඔන්න සිකුරාද රාත්‍රියේ ලක්ෂ්මන් අංකල්, මෙන්ඩිස් අංකල් සහ සනී මාමා එක්ක පොර, මුචා සහ මම සෙට් වුණා හැනපියර් එකක් එක්ක... බෝල කඩල, පණු බයිට්ස් (:P) සහ ලුණු ගම්මිරිස් තැවරුණු ගර්කින් පෙති එක්ක බෝතලේ හිස් වුණේ රටේ ස්වෛරීභාවය, ඒකීයභාවය, දේශීයත්වය වගේම මහින්දගේ ආගියකතා පොතුත් එක්ක ගැවසෙමින්...
ඊට පස්සෙ කාල බීල සේරම ඉවර කරලා අපේ ගැන්සියෙ තුන් දෙනෙක් අල්ලපු වත්තෙ ජෙමාට ගහල 52 කුට්ටම අරන් ඇවිත් ජූස් ගාගත්තු බූරුවෙක්ව හොයනගමන් මඩ නාගත්තු තව පොරක් ෂේප් එකේ කාමරේට රිංගගෙන නෙට් එකේ වැල බැලුවා කියලයි ආරංචිය.... අන්තිමේ කට්ටිය නිදාගන්න ගියත් තවත් ඩබලක් පාන්දර 2 විතර වෙනකල් රට පෙරලන්න කතා කොරාලු ඇඳ උඩ දපන ගමන්!
සුදු කළු හීනි මහ උස කොට අය හිටිය
27 වෙනිද මොරටු පුරේ බිග් සිටිය
ඔන්න පහුවදා පාන්දරම කියන්නෙ නමය කිට්ටු කරලා කට්ටිය මූලස්ථානෙන් පිටත් වුණා ආලකමන්දා ගමනට. ඒ වෙනකොටත් අවිස්සාවේල්ලෙ දන්ත නාරායනතුමාත්, පොලෝසියෙන් ගුටි නොකා කොණ්ඩෙ කප්පවගත්තු අසංවිධායක අසංග අමරවංශයාත් එතනට සම්ප්‍රාප්ත වෙලා හිටියෙ. ඒ මදිවට ළඟදි ඉන්න රිලේෂන් නැවක් හදාගෙන නිස්සද්ද වෙලා ඉන්න මරණෙත් අපි ගිහින් ටිකකිං ආවා හොල්මනක් වගේ... කට්ටිය රාවණ සහ සීතා යුවලට ගෙනියන්න එක එක ඒවා හොයන අතරෙ ලැක්ටෝජන් හලාගත්තු එකෙක් ටිකිරි මාරි පැකට් එකක් අරන් ආවා... ඔය අස්සෙ සුන්දර හැපින්නකුත් ඇවිත් තඩි කළු ගලකට මුවා වෙලා පිඹින්නෙවත් නැතිව හිටියා....
ඉතිං කට්ටිය මොන මොනවදෝ අරගෙන රාවණ් භවන් වෙත යන්න පිටත් වුණා...
රාවණ් භවන් හෙවත් ආලකමන්දාව
රාවණ් භවන් වෙත උදේ 10ට යන්න කතා වුණත් එකම එක සුද්දෙක්වත් අපේ සෙට් එකේ නොහිටිය නිසා යන්තම් උදේ 11.30 වෙද්දි විතර එතනට යාගන්න පුළුවන් වුණා. අර අමරවංශයා දුවල පැනල වැඩ නොකලානං හවස දෙක වෙද්දිත් කට්ටිය තෑගි තෝරනව ෂුවර්... මොරටුවෙ කුකිං රෝඩ් එකේ මුලින් කඩාගෙන ගිය අය හොරෙන්ම භවන ඇතුලට රිංගලා ගේට්ටුව පාස් කරගෙන අපි යද්දි අපිව බයිට් කරලා ඇතුලට ගෙන්නගත්තා. උන් හිතුවෙ අපි කෙලින්ම බීච් එකටම යයි කියලා... අපිත් කට වහගෙන ආලකමන්දාවෙ ඉහල මාලෙට පිය නැගුවා...
සෙට්වීම
අපි මේ ඉතාලියෙ ඉන්න මැරයෙක්ගෙ උපදෙස් පිට පිඤැකොලාදා හදන්න අන්නාසි ගෙඩියක් ගෙනාවත් ඒක හදන්න අවශ්‍ය අනිත් කලමනා හොයාගන්න තිබුණ අපහසුව නිසා ඒ වැඩේ හරි ගියේ නෑ... ඒ නිසා රාවණගෙ නොදරු චොකලට් කන ගමන් අපට අපේ අනිත් ඔප්ෂන් එකට යන්න වුණා. ඔන්න ඉතිං රාවණයා අපට හදල දුන්නා බකාදි රම් එකයි, අලිගෙදර සෝඩයි, මිංචි කොලයි, දෙහියි දාල හදපු මොජිටෝ. ඒක කොක්ටේල් එකක්. අර ඉතාලිකාරයා ඔය උණ මෙහෙ බෝ කරල ගියාට පස්සෙ මේ තරම් රස කුකුල් වලිග මොනවද කියල බලන්න කට්ටිය පෙරුම් පුරාගෙන තමයි හිටියෙ.
ඔය බීමත් එක්ක බයිට් එකට මුලින්ම සෙට් වුණේ අපේ දේශීය කෑමක් වෙන ස්පයිස්ඩ් චීස්... මේක බිග් සිටියෙන් ගත්තෙ ලතික අක්කා. කට්ටිය කාල නැත්තං ගණන් වැඩිවෙන්න කලින් කාල බලන්න. සාමාන්‍ය චීස් එකකට වඩා වෙනස් ගතියක් තියෙනවා. ක්‍රීම් ක්‍රැකර් එක්ක සුපර්බ්!
ඊට පස්සෙ ඉතිං බකාර්දිය එක්ක ගල්භූමි සුදු රම් සහ ජෝන් සීයගෙ රන්පත් එක්ක අපේ සෙට්වීම සිද්ධ වුණා. වාසනාවන්තයො ලස්සන බෝතලේක තිබුණ ස්මර්නොෆ් වැනිලා එකේ සුවඳත් විඳගත්තා. මුචලින්දයා සහ නාරායනතුමා හතර අතේ පින්තූර ගැහුවා... එක එකාව බයිට් කරල අම්බාණක් හිනා වුණා. සෙට් එකක විධියට කරන්න හිතන දේවල් ගැන කතාවක් දෙකක් දැම්මා... ෆන් කියන ඒවයින් උපරිමව ගත්තා...
ඔබට ඇඳුම් අල්මාරියක් තිබේද?
ඔය අස්සෙ ඩෙනිම් 7ක් සහ ටී ෂර්ට් 16ක හිමිකාරියක් වුණ ඈන්ෂ් ලුක්ස් චී ජහ්: හෙවත් සබා අක්කි සම්ප්‍රාප්ත වුණා පාටියට... අඳින්න ඇඳුමක් නැතිව අල්ලපු ගෙදර මල්ලිගෙ ටී ෂර්ට් එකක් පන්නගෙන ඇඳන් ආපු නිසාද කොහෙද තවත් සස්සන වෙලා...
ඒත් එයා ගැන කතාව පටන්ගන්න කලින්ම රජරට පුත්‍රයා හෙවත් උදාර මදකණසංඛයාත් සම්ප්‍රාප්ත වුණා... මේ සිද්ධියත් ටුවිට් කරෙනවා කියල අපිව බයකරන්න ටී ෂර්ට් ගහගෙන ආවට අපිනං බය වෙයි ඕවට.. ඉතිං කරන්න දෙයක් නැති නිසා වෙනද වගේ නෙක්ටොත් නැති නිසා මදේ මලයා ෆැන්ටා සහ කෝක් වලින් සැනසෙන්න ගත්තා.
මොනව වුණත් ටී ෂර්ට් 16යි ඩෙනිම් 7යි ඩබල් වොශ් වෙන්න දාපු වෙලේක අඳින්න කොටන් කලිසමකුත් තියෙන සබා නිසා අපේ කට්ටියට තියෙන ටී ෂර්ට් ගාන දැනගන්න පුළුවන් වුණා. රාවණාට හොඳ පිට කණපිට දෙපැත්තමයි ඉස්සරහයි පස්සයි වෙන වෙනම ගණන් කලාම යාන්තං ටී ෂර්ට් 8ක් හැදෙනවා... රජරටයාට යාන්තං අක්කගෙ ටී ෂර්ට් ටිකත් එක්ක 8ක් හදාගන්න පුළුවන්... අනිත් එවුන්ට එහෙමවත් වත්කමක් නෑ....
බුරියානි අනුභවකොට හෙටට හුරු වීම
කලින්ම ඕඩර් කරල තිබුණ නිසා වෙලාවට අපට වෙන්කරපු බුරියානි හට්ටි දෙක ආවා. සීතක්කගේ කාරුණික අනුග්‍රහයෙන් සහ අපේ අකරුණාවත්න අසහයෝගීත්වයෙන් වැඩමවුණ බුරියානි කාගන්න එකනං ලේසි වුණේ නෑ... ඒ නිසා සමහර තූති බබාලට ලොකු ආන්ටිලා බයි කැව්වා.. සමහරු ගෑරුප්පුවෙන් කන්න ගිහින් හොඳට නාගෙන හැන්දක් හෙව්වා. කට්ටිය කොයි තරම් කෑවද කියනවනම් අන්තිමේ රාවණ යුවලට රෑටත් කන්න පුළුවන් තරමට බුරියානි ඉතිරි වුණා.
කොහොමින් හරි අන්තිමේ අමරවංශයාත්, මරේත්, සබා අක්කණ්ඩිත්, නිවාඩු දාල සින්දු පාඩං කරන් ඇවිත් ඒව කියාගන්න නොලැබුණ රජරටයාත් පුද්ගලික ප්‍රස්ණයක් විසඳගන්නත් එක්ක කලින්ම ගෙවල් බලා ගියා... අනිත් උන් ටික කොල 105ක් අනාගෙන බූරුවෙක්ව හෙව්වා වතුර පොවන්න... කෝකටත් ඔය බූරුවා හෙවිල්ලේ සෙල්ලං පුරුදු වෙලා ඉන්න එක හෙටක් උදාවුණ දාක හොඳ වෙයි නේ...
සමුගැනීම
අන්තිමේ මොනව කලත් වෙන් වෙන්න ඕන නිසා කට්ටිය හවස 5 කිට්ටු වෙලා රාවණා යුවලට දණ්ඩ නමස්කාර කොරලා වැලඳගෙන සමු දීලා ආලකමන්දාවෙන් ආවා... දෙන්නෙක් කළුතර පැත්තටත් අනිත් අය කොළඹ පැත්තටත් වෙන්වෙලා ගියා..
කාලෙකට පස්සෙ ෆිට් එකේ සෑහෙන පිරිසක් එකට සෙට් වුණා... සෙට් නොවුණෙ සුදා, අංජා, ලිහිණි, නිරූපා ආන්ටි, අමිල, දුකා සහ මැරයා තමයි... ඒ වුණත් ඒ අය වෙනුවෙන් අපි හොඳට සතුටු වුණා කිව්වොත් හරි. රාවණ භවනේ පොඩි කාලෙකට වුණත් අපටත් රාඩකීය හැඟීමක් දැණුනා... ඉතිං මේ සටහන ලියවුණේ ඒ දවසේ මතකය තියාගන්න. ආයෙ දවසක කියවලා මතක් කරගෙන වාත වෙන්න.
ඒ වුණත් මේ සටහනේ කියවෙන්නෙ එතනදි වුණ, දැණුන දේවලින් බොහොම පොඩ්ඩක් විතරයි.. ඒ වෙලාවෙ දැණුන දේවල් දැණුන විධිය සහභාගි වුණ හැමෝටම හොඳින් දැණෙන්න ඇති... අවසානෙ කියන්න තියෙන්නෙ...
උපරිමයි! ආයෙ ළඟදිම සෙටාර් වෙමු!
ඉතිං අන්තිමේදි අපේ පිස්සු කෝචිචිය විසින් උඩුගත කරමින් සාදන ලද පින්තූර එකතුවට සවන් දෙන්න...